ගීතාවලිය 112:1-10

ගීතාවලිය 112:1-10 SCV

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේට භය පක්ෂපාත මිනිසා, උන්වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ප්‍රීති වන්නා, භාග්‍යවත් ය. ඔහුගෙන් පැවත එන්නෝ දේශයෙහි බලවත් වන්නෝ ය; අවංක මිනිසාගේ පරම්පරාව ආශිර්වාද ලබන්නේ ය. සම්පත් ද ධනය ද ඔහුගේ නිවස තුළ වන්නේ ය; ඔහුගේ දමිටුකම සදහට ම පවත්නේ ය. අඳුරේ වුව ද, අවංක මිනිසාට එළිය උදාවන්නේ ය; ඔහු කාරුණික ය; අනුකම්පා සහගත ය. ධර්මිෂ්ඨ ය. ත්‍යාගශීලී වූත්, නො මසුරු ව ණයට දෙන්නා වූත්, තම කටයුතු යුක්ති ගරුක ව හසුරුවන්නා වූත් තැනැත්තාට සෙත සැලසේ; කිසි කලෙක ඔහු සෙලවෙන්නේ නැත; දමිටු මිනිසා ගැන මතකය සදා පවතී. අශුභ ආරංචි ගැන බයක් ඔහුට ඇති නො වේ; ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන ඔහුගේ හද ස්ථිර ය. ඔහුගේ හද සුරක්ෂිත ය; ඔහුට බියක්, සැකයක් නැත. අවසානයේදී ඔහු තම සතුරන් පරදා, ජය ගන්නේ ය. ඔහු නො මසුරු ව දිළිඳුනට බෙදා දුන්නේ ය. ඔහුගේ දමිටුකම සදහට පවත්නේ ය. ඔහුගේ උදාරත්වය, ගෞරවයෙන් යුතු ව උසස් කෙරේ. දුෂ්ට මිනිසා ඒ දැක කෝප ගන්නේ ය. ඔහු දත්මිටි කමින් සිට, ක්ෂය වී යන්නේ ය. දුෂ්ටයින්ගේ ආශාවන් ඉෂ්ට නො වී, පහව යයි.

ගීතාවලිය 112:1-10 සඳහා වීඩියෝව

ගීතාවලිය 112:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය