ගීතාවලිය 109:21-31

ගීතාවලිය 109:21-31 SCV

එහෙත් ඔබ, අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මා සම්බන්ධ ව ඔබගේ නාමයේ ගෞරවයෙන් ක්‍රියා කළ මැනව; ඔබගේ නොමියෙන ප්‍රේමයේ යහ ගුණයෙන් මා මුදනු මැනවි. මන්ද මම දුප්පතෙක්මි. දිළින්දෙක්මි; මගේ හදවත වේදනාවෙන් පෙළෙයි. මැකීයන, සැඳෑ සෙවණැල්ල සේ මම පහව යමින් සිටිමි; පළඟැටියකු සේ මම ඉවත ගසා දමනු ලැබ සිටිමි. නිරාහාර ව සිටීමෙන් මගේ දණහිස් බෙලහීන ව ඇත; මගේ සිරුර වැහැරී, කෘශ ව ගොසිනි. මට චෝදනාකරන්නන්ට මා සමච්චලයට හේතුවකි; ඔවුහු මා දකින කල තමන්ගේ හිස් වන වනා යති. මට උපකාර කළ මැනව, අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුකූලව මා ගැලෙවුව මැනවි. තවද, එය කළේ ඔබ, ඔබේ ම හස්තයෙන් වග අහෝ ස්වාමින්වහන්ස, එය ඔබ ම කළ දෙයක් වග ඔවුන්ට දැනගන්නට සැලසුව මැනව. ඔවුහු ශාප කරත්දෙන්; එහෙත් ඔබ ආශිර්වාද කරන සේක; ඔවුන් මට පහර දෙන කල ලජ්ජාවට පත් කරනු ලබති. එහෙත් ඔබගේ සේවක මම ප්‍රීතිමත් වන්නෙමි. මට චෝදනාකරන්නෝ නින්දාවෙන් හඳවනු ලැබ, ලජ්ජාවේ කබායෙන් දවටනු ලබන්නෝ ය. මගේ මුවින් මම ස්වාමින්වහන්සේට මහත් සේ ප්‍රශංසා කරන්නෙමි. මහා ජන සමූහයා මැද මම, උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි. මන්ද දිළිඳාට මරණ දඬුවම දෙන්නන්ගෙන් ඔහු ගලවා ගනු පිණිස උන්වහන්සේ දිළිඳාගේ දකුණු පසින් සිටගන්නා සේක.