ගීතාවලිය 106:1-23

ගීතාවලිය 106:1-23 SCV

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමින්වහන්සේට ස්තුති කරන්න; මන්ද උන්වහන්සේ යහපත් ය; උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේ ය. ස්වාමින්වහන්සේගේ පරාක්‍රමවත් ක්‍රියා, ප්‍රකාශ කළ හැක්කේ කවරකුට ද? උන්වහන්සේගේ ප්‍රශංසාව, මුළුමනින් ම ප්‍රකාශ කළ හැක්කේ කවරකුට ද? යුක්ති සහගත ව ක්‍රියා කරන්නෝ, හෙවත් හැම විටෙක ම හරි දෑ කරන්නෝ භාග්‍යවත් ය. ඔබගේ ජනයාට ඔබ දයාව පානා කල, මා සිහි කළ මැනව අහෝ ස්වාමින්වහන්ස, ඔබ ඔවුන් ගලවන කල, මට උපකාර කළ මැනව. ඒ, ඔබගේ තෝරාගත්තවුන්ගේ සමෘද්ධිය මා අත්විඳින පිණිසත්, ඔබගේ ජනයාගේ ප්‍රීතියට මා පංගුකාර වන පිණිසත්, ප්‍රශංසා දීමෙන් ඔබේ උරුමයට එක්කාසුවන පිණිසත් ය. අපේ පියවරුන් කළා සේ ම, අපිදු පව් කර ඇත්තෙමු; අපි වැරදි කළෙමු; නපුරු ලෙස ක්‍රියා කර ඇත්තෙමු. අපේ පියවරුන් ඊජිප්තුවේ සිටියදී, ඔබගේ හාස්කම් සිතට ගත්තේ නැත; ඔබගේ ඉමහත් නොමියෙන ප්‍රේමය, ඔවුන්ගේ මතකයේ නො විණි. මුහුද ළඟදී, රතු මුහුද ළඟදී ඔවුහු කැරලි ගැසූහ. එසේ වුව ද ස්වකීය පරාක්‍රමවත් බලය දක්වන පිණිස, ස්වකීය නාමයේ ගෞරවය උදෙසා උන්වහන්සේ ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ රතු මුහුදට තරවටු කළ සේක්, එය වියළුණේ ය; කාන්තාරය මැදින් යන්නා සේ උන්වහන්සේ මුහුදු ගැඹුර ඔස්සේ ඔවුන් ගෙන ගිය සේක. සතුරු අතින් උන්වහන්සේ ඔවුන් ගැලවූ සේක; එදිරිවාදීන් අතින් උන්වහන්සේ ඔවුන් මිදූ සේක. ජල කඳ ඔවුන්ගේ විරුද්ධවාදීන් වසා ගත්තේ, ඔවුන්ගේ එකකුවත් ඉතිරි නො කරමිනි. එවිට උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කළ ඔවුහු, උන්වහන්සේ පසසමින් ගී ගැයූහ. එහෙත් උන්වහන්සේ කළ දෑ, ඉක්මනින් අමතක කර දැමූ ඔවුන්, උන්වහන්සේගේ උපදෙස් ලැබෙන තෙක් බලා සිටියේ නැත. කාන්තාරයේදී තමන්ගේ තෘෂ්ණාවට වසඟ වූ ඔවුහු, පාළුකරයේදී දෙවියන්වහන්සේ පරීක්ෂා කළහ. එබැවින් උන්වහන්සේ ඔවුන් ඉල්ලූ දෑ දුන් සේක්, ඒ සමඟ නාස්තිකාර රෝගයක් ද එවූ සේක. ඔවුහු කඳවුරේදී මෝසෙස්ටත්, ස්වාමින්වහන්සේට කැප කරන ලද ආරොන්ටත්, ඊර්ෂ්‍යා කරන්නට වන්හ. පොළොව විවර ව, දාතාන් ගිල දැම්මා ය; අබිරාම් හා ඔහුගේ පිරිස පසට යට කර දැම්මේ ය. ඔවුන්ගේ අනුගාමිකයින් පිට ගින්න ඇවුළුණේ ය; ගිනි දැල්, එම දුෂ්ටයින් දවා දැම්මේ ය. හොරේබ්හි දී ඔවුහු වාත්තු වස්සකු සාදා, ලෝහයෙන් කළ එම වාත්තු පිළිමයට නමස්කාර කළහ. ඔවුහු තමන්ගේ තේජෝමහිමයාණන්, තණකොළ කන හරකකුගේ රූපයකට හුවමාරු කර ගත්හ. ඔවුහු දෙවියන්වහන්සේ අමතක කළහ; ඊජිප්තුවේ ද ඉමහත් වික්‍රමයන් සිදුකර ඔවුන් ගැලවූ උන්වහන්සේ, හාම්වරුන්ගේ එම දේශයේදී ආශ්චර්යයන් ද රතු මුහුද අබියසදී භයංකර දෑ ද පෑ තැනැන්වහන්සේ ය. එබැවින් ඔවුන් විනාශ කර දමන්නෙමැයි උන්වහන්සේ පැවසූහ. එහෙත් මෝසෙස්, උන්වහන්සේ විසින් තෝරාගත් මනුෂ්‍යයා, ඔවුන් විනාශ කර දැමීම වළක්වන්නට මැදිහත් ව, උන්වහන්සේ ඉදිරියේ සිටගත්තා නො වේ ද?