ගීතාවලිය 104

104
ගීතාවලිය 104
1එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න.
අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබවහන්සේ ඉතා උතුම් ය;
ඔබවහන්සේ ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් පැලඳ සිටින සේක.
2ආලෝකය වස්ත්‍රයක් සේ ඇඟ ලා සිටින උන්වහන්සේ,
ගුවන උඩු වියනක් මෙන් විහිදන සේක.
3ස්වකීය කුටියේ බාල්ක ජල පිට තබන සේක.
උන්වහන්සේ වලාකුළු තම රථය කර ගන්නා සේක,
සුළං පියාපත් පිට නැගී යන සේක.
4සුළං තම දූතයින් කර ගන්නා උන්වහන්සේ,
ගිනි දැල් තම සේවකයින් කරන සේක.
5කිසි කල නො සෙල්වී, පිහිටා සිටින පරිදි
උන්වහන්සේ පොළොව, එහි අත්තිවාරම් පිට පිහිටූ සේක.
6පොරෝනයකින් මෙන් ගැඹුරින් එය ආවරණ කළ සේක;
ජලය, කඳුවලටත් වඩා ඉහළින් පිහිටියේ ය.
7ඔබගේ තරවටුවෙන් ඒවා පලා ගියේ ය;
ඔබගේ ගර්ජනා හඬට ඉවත පලා දිවූ ජලය,
8කඳුවලට ඉහළින් ගලා,
ඔබවහන්සේ ඒවාට නියම කළ ස්ථානය වූ
මිටියාවත්වලට බැස ගියේ ය.
9ඔබ ඒවාට යළි පැන ආ නො හැකි සීමා බාධකයක් පැන වූ බැවින්,
ජලය යළි කිසි කල පොළොව වසා නො ගන්නේ ය.
10මිටියාවතට ගලා හැලෙන්නට ඔබ නිම වූ දිය දහරා
කඳු අතරින් රිංගා ගලා යයි.
11බැද්දේ සතා සීපා සියල්ලනට ඒවා ජලය සපයයි;
වනගත බූරුවෝ ඒවායින් බී පිපාස සංසිඳුවා ගනිති.
12ආකාශ පක්ෂීහු ඒ දිය පාර අද්දර කූඩු තනා,
අතු පතර හිඳ ගී ගයති.
13උන්වහන්සේගේ උදාර වාස භවනේ සිට උන්වහන්සේ කඳුවලට ජලය සපයන සේක;
උන්වහන්සේගේ වැඩවල පලයෙන්, මහ පොළොව තෘප්තිමත් වෙයි.
14ඔබවහන්සේ ගව ආදී සතුන් සඳහා තෘණ වැඩෙන්නට සැලසූ සේක්;
මිනිසාට වගා කරනට ගස් වැල් දුන් සේක;
ඒවා පොළොවෙන් අහර හටගැන්වීමට ය;
15එනම්, මිනිසාගේ හද ඔකඳ කරන මිදි යුෂ ද
ඔහුගේ වත එළිය කරවන තෙල් ද
ඔහුගේ ගත සවිගන්වන ධාන්‍ය ද සඳහා ය.
16 ස්වාමින්වහන්සේගේ ගස්, එනම්,
උන්වහන්සේ සිට වූ ලෙබනොන්හි දේවදාර ගස්වලට, මනාව ජලය සැපයේ.
17කුරුලු-කිරිලි, ඒවායේ තම කැදලි තනා ගනිති;
කොක්කු, සයිප්‍රස් ගස් තම නිවෙස් කර ගනිති.
18උස් ගිරි ශිඛර හිමි වල්එළුවන්ට ය;
පර්වත කූට සාවුන්ගේ සුරැකුම් පොළවල් ය.
19ඔබ සඳු නිර්මාණ කළේ, කාල, සෘතු දක්වන්නට ය.
බැස යා යුතු වේලාව හිරු දනියි.
20ඔබ අන්ධකාරය ගෙන එයි, එය රාත්‍රියයි,
එවිට වනයේ මෘගයෝ එළියට ඇදෙති.
21නාඹර සිංහයෝ ගොදුර ගැන ගොරවමින්,
දෙවියන්වහන්සේගෙන් තම කෑම ඉල්ලති.
22හිරු නැගෙනා කල උන් හීන් සැරේ ඇදී ගොස්,
ආපසු අවුත් තම ලෙන් තුළ ලැග ගනිති.
23එවිට මිනිසා තම වැඩට පිටත් ව යයි;
සවස් වන තුරු ඔහු වෙහෙස වෙයි.
24ඔබගේ නිමැවුම් කොතරම් අපමණ ද!
අහෝ ස්වාමින්වහන්ස, ඒ සියල්ල ඔබ නිමවා ඇත්තේ ප්‍රඥාවෙනි.
මේ මුළු පොළොව ඔබ මැවූ සියල්ලන්ගෙන් පිරී ඇත.
25අතෙකින්, අති විශාල මහා සාගරය ය,
එහි ගිණිය නො හැකි තරම් මත්ස්‍ය රෑන් ය,
ලොකු කුඩා ජලජ ජීවීන් ය.
26එහි නෞකා එහා මෙහා යයි,
ක්‍රීඩා කරන්නට ඔබ සෑදූ ලෙවියාතන් ද එහි සිටී.
27ඒ සියල්ලෝ ඔබ දෙස බලා සිටින්නේ,
නිසි වෙලාවට ඔබ ඔවුන්ගේ කෑම දෙන තෙක් ය.
28ඔබ උන්ට අහර දෙන කල,
ඔවුන් ඒවා අහුලා කති;
ඔබ අත දිග හැර දෙන විට
උන් යහ දෙයින් තෘප්තියට පැමිණෙති.
29ඔබ උන්ගෙන් ඔබේ මුහුණ සඟවා ගන්නා කල,
ඔවුහු සංත්‍රාසයට පත් වෙති;
ඔබ ඔවුන්ගේ පණනල ආපසු ගත් කල, ඔවුහු නැසී,
ආපසු ඔවුන්ගේ දූවිල්ලට හැරී යති.
30ඔබ ඔබගේ ජීවන හුස්ම යැවූ කල
උන් මවනු ලබති.
මෙසේ ඔබ පොළෝ තලේ අලුත් කරන සේක.
31 ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය සදහට ම පැවතේවා!
ස්වකීය කාර්යය ගැන ස්වාමින්වහන්සේ ප්‍රීති ප්‍රමෝද වෙත්වා!
32උන්වහන්සේ පොළොව දෙස බලන කල එය වෙවුලන්නේ ය.
උන්වහන්සේ කඳු ස්පර්ශ කරන කල ඒවායින් දුම් දැමේ.
33මගේ ජීවිතය පුරා මම ස්වාමින්වහන්සේට ගී ගයන්නෙමි;
මගේ දිවි ඇති තුරා මගේ දෙවියන්වහන්සේට මම පැසසුම් ගී ගයන්නෙමි.
34 ස්වාමින්වහන්සේ තුළ මා ප්‍රීති වන බැවින්,
මගේ භාවනාව උන්වහන්සේට ප්‍රසන්න වේවා.
35පව්කරුවෝ පොළොවෙන් නැති වී යත්වා;
දුෂ්ටයෝ තවත් නො සිටිත්වා.
එම්බා මගේ ජීවය, ස්වාමින්වහන්සේ පසසන්න.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 104: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න