ගීතාවලිය 102

102
ගීතාවලිය 102
පීඩාවලින් යට ව, දුර්වල වූ කල ස්වාමින්වහන්සේ ඉදිරියේ තම කන්නලව්ව වැගුරූ මිනිසකුගේ යැදුමක්.
1ඇසුව මැනවි මගේ යැදුම, අහෝ ස්වාමින්වහන්ස,
උදවු ඉල්ලන මගේ හැඬුම, ඔබ අබිමුවට ළඟා වේවා.
2මගේ විපත් දවසේ මවෙතින්,
ඔබේ මුහුණ සඟවා නො ගත මැනවි.
මා ඔබට හඬ ගසන දවසේ, ඔබේ සවන් මවෙත හරවා,
හනික මට උත්තර දුන මැනවි.
3මන්ද මගේ දවස් අතුරුදහන් වන්නේ, දුම් වගේ ය;
මගේ ඇටකටු ඇවිළෙන්නේ, පෝරණුවක් වගේ ය.
4මගේ හද තැළී-වියළී ඇත්තේ, තණකොළ වගේ ය;
මගේ ආහාර කෑමට ද මට අමතක ව ගොසිනි.
5මහ හඬින් කෙඳිරි ගෑමෙන්,
මගේ ඇට මගේ හමට ඇලී ඇත.
6මා කාන්තාර බස්සකු වැන්න;
ජරාවාස තැන්හි ලගින, බස්සකු වැන්න.
7නො නිදා මම වැතිර සිටිමි;
මා, වහලක් මත හුදකලා වූ පක්ෂියකු වැන්න.
8මගේ සතුරෝ දවස මුළුල්ලේ මට නින්දා කරති;
මට සරදම් කරන්නන් ශාප කරන්නේ, මගේ නමිනි.
9මන්ද, අළු මට ආහාර වී ඇත්තේත්,
මගේ බීමට කඳුළු මුසු ව ඇත්තේත්,
10ඔබගේ කෝපය හා තරහව නිසා ය;
මන්ද ඔබ මා ඉහළට ඔසවා, අහකට විසි කළ සේක.
11මගේ දවස්, වියැකී යන සැඳෑ සෙවණැල්ල වැන්න;
මම, තණපත් මෙන් වියැළෙමින් සිටිමි.
12එහෙත් ඔබ, අහෝ ස්වාමින්වහන්ස, සදාතනික ව සිංහාසනාරූඪ වන සේක;
සියලු පරම්පරා මධ්‍යයේ ඔබ ගැන සිහිගැන්වේ.
13ඔබ නැගී සිට, සියොනට දයා පානා සේක;
මන්ද ඇයට පිහිට විය යුතු කාලයයි මේ;
ඊට නියමිත කාලය පැමිණ තිබේ.
14මන්ද ඔබේ සේවකයෝ එහි ගල්වලට ප්‍රිය වන්නෝ ය;
එහි දූවිල්ලට පවා අනුකම්පා දක්වන්නෝ ය.
15 ස්වාමින්වහන්සේගේ නාමයට ජාතීහු භය වන්නෝ ය.
පොළොවේ සියලු රජවරු ඔබගේ මහිමශ්‍රීයට භය වන්නෝ ය.
16මන්ද ස්වාමින්වහන්සේ සියොන් පුර යළි ගොඩ නගන සේක්;
ස්වකීය මහිමශ්‍රීයෙන් පෙනෙන්නට එන සේක.
17අනාථවූවන්ගේ යැදුමට උන්වහන්සේ ප්‍රතිචාර දක්වන සේක්;
ඔවුන්ගේ කන්නලව් සුළු කොට නො තකන සේක.
18තවමත් නූපන් ජනතාවක් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන පිණිස,
අනාගත පරම්පරාවක් සඳහා මෙය ලියා තබනු ලැබේවා:
19“උන්වහන්සේ ස්වකීය ශුද්ධ ඉහළ ස්ථානයේ සිට පහත බැලූයේ,
ස්වාමින්වහන්සේ ස්වර්ගයේ සිට පොළොව බැලූයේ,
20සිරගතවූවන්ගේ කෙඳිරීම් අසන පිණිසත්,
මරණයට නියම වූවන් නිදහස් කරන පිණිසත් ය.”
21 ස්වාමින්වහන්සේගේ නාමය සියොනෙහි ද
උන්වහන්සේගේ ප්‍රශංසාව යෙරුසලමෙහි ද ප්‍රකාශ කෙරෙන පිණිසත් ය.
22එසේ වන්නේ, ජනයා ද රාජ්‍යයන් ද
ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමට එක් රැස් වන කල්හි ය.
23මගේ ජීවිත මාර්ගය අතර මැදදී, උන්වහන්සේ මගේ ශක්තිය බිඳ දැමූ සේක්;
මගේ ජීවිත කාලය කෙටි කළ සේක.
24එබැවින් මම මෙසේ කීවෙමි:
“අහෝ මගේ දෙවියන්වහන්ස, මගේ දිවිය අතර මැදදී ආපසු නො ගත මැනව;
ඔබවහන්සේ සියලු පරම්පරා මුළුල්ලේ ම පැවත සිටිනවා නො වේ ද!”
25පටන් ගැන්මේදී, ඔබ පොළොවේ අත්තිවාරම් ලූ සේක;
ස්වර්ග ඔබගේ අත්වල වැඩ වේ.
26ඒවා වැනසී යනු ඇත; එහෙත් ඔබ පැවත සිටින සේක.
ඒවා වස්ත්‍රයක් සේ ගෙවී, පරණ වෙයි.
ඇඳුම් මෙන් ඔබ ඒවා මාරු කරන සේක;
ඒවා පහ කර දමනු ලැබේ.
27එහෙත් ඔබවහන්සේ එක ලෙස පවතින සේක;
ඔබගේ අවුරුදුවලට කෙළවරක් නැත.
28ඔබට සේවය කරන්නන්ගේ දරුවන් ඔබ අබිමුව වෙසෙනු ඇත;
ඔවුන්ගේ දරු පරපුර ඔබ ඉදිරියේ ස්ථාපිත කෙරේ.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 102: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න