හිතෝපදේශ 9:1-18

හිතෝපදේශ 9:1-18 SCV

ප්‍රඥාව ඇගේ නිවස ගොඩ නගන්නී, එහි කුලුනු හත ඉදිකර ගත්තී ය. ඈ මස් මාංස පිළියෙල කොට, මිදි යුෂ පදමට මිශ්‍ර කර, ඇගේ සංග්‍රහ මේසය සූදානම් කොට ඇත. ඈ තම පරිවාර ළඳුන් පිටත් කර යවමින්, පුරවරයේ උස ම තැන සිට මෙසේ නිවේදන කළා ය: “අඥාන සියල්ලෙනි, මෙහෙ පැමිණෙන්න.” විචාර බුද්ධිය නැතියවුනට ඈ මෙසේ කියන්නී ය: “එන්න, මගේ කෑම කන්න; මා පදම් කර ඇති මිදි යුෂ බොන්න. ඔබගේ අනුවණ මාර්ග අතහරින්න, එවිට ඔබ ජීවත් වනු ඇත; අවබෝධ මාර්ගයේ ගමන් කරන්න.” අවමන්කරන්නකු නිවැරදිකරන්නා අපහාසයට අත වනයි; දුෂ්ට මිනිසකුට තරවටුකරන්නා තමනට අපවාද පමුණුවා ගනියි. අවමන්කරන්නකුට තරවටු නො කරන්න; කළොත් ඔහු ඔබට වෛර කරනු ඇත. ප්‍රඥාවතකුට තරවටු කරන්න, ඔහු ඔබට ප්‍රේම වනු ඇත. ප්‍රඥාවතකුට ගුරුහරුකම් දෙන්න, ඔහු තවත් ප්‍රඥාවත් වෙයි. දැහැමි කෙනකුට යමක් කියා දෙන්න, ඔහු තම දැනුම වැඩි කර ගනී. ස්වාමින්වහන්සේට භයවීම, ප්‍රඥාවේ පටන් ගැන්ම ය. ශුද්ධ වූ තැනැත්තාණන් දැන-හැඳිනගැනීම, අවබෝධය ය. මන්ද මා මගින් ඔබේ ජීවිත දවස් බොහෝ වෙයි, ඔබේ ජීවිත කාලයට තවත් අවුරුදු එකතු කෙරේ. ඔබ ප්‍රඥාවත් නම්, ඒ ප්‍රඥාව ඔබට ඉටු විපාක ගෙනේ; ඔබ අවමන්කරන්නකු නම් එහි අනිටු විපාකය තනිකර ඔබගේ ය. අනුවණී නම් ගැහැණිය ඝෝෂාකාරී ය; ඇය නො හික්මුණු ගති ඇති, වැටහීමක් නැති තැනැත්තියකි. ඇගේ ගෙදර-දොර ළඟ, පුරවරයේ උස ම තැන ඇති අසුනක අසුන් ගන්නා ඈ, තම තමන්ගේ කාරිය පිණිස යමින් සිටින මහ මග යන්නන්ට හඬ ගසන්නී ය, “අඥානයිනි, එන්න මෙහෙ ඇතුළට.” විචාර බුද්ධිය නැතියවුනට ඈ මෙසේ කියන්නී ය: “හොරෙන් ගත් වතුර මිහිරියි, හොර රහසේ කන කෑම හරි රසවත්.” එහෙත් ඒ ගෙදර සිටින්නේ, මළගියවුන් වගත්, ඇගේ අමුත්තන් දැන් ෂෙයෝල පත්ලේ වගත් ඔවුහු නො දත්තෝ ය.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 9:1-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය