හිතෝපදේශ 8:1-22
හිතෝපදේශ 8:1-22 SCV
ප්‍රඥාව උස් හඬින් අමතන්නේ නැති ද? අවබෝධය ඇගේ උස් හඬ නගන්නේ නැති ද? මාර්ගය ඔස්සේ මාවත් එකට හමුවන තැන, උස් තැනක ඈ පිහිටා සිටගනී. පුරවරයට යන පුර දොරටු පසෙක සිට, පුරවර පිවිසුමේ සිට ඈ හඬ නගා මෙසේ කියන්නී ය: “මා මේ හඬ ගසන්නේ නුඹලාට ය එම්බා මිනිසුනි, සමස්ත මිනිස් වර්ගයාට ම ඇසෙන්නට මම හඬ නගා පවසන්නෙමි. අනුවණයිනි, සිහි නුවණ ලබා ගන්න; අඥානයිනි, බුද්ධිය ලබා ගන්න. සවන් දෙන්න, අගනා දෑ කියන්නට මට තියේ; හරි දේ කියන්නට මගේ දෙතොල් විවර කරමි. මගේ මුවින් පැවසෙන්නේ සත්‍යය ය; මන්ද මගේ දෙතොලට දුෂ්ටකම පිළිකුලක් ය. මා මුවේ හැම වචනයක් ම ධාර්මික ය; හොර බොරු වංචා කිසිවක් ඒවායේ නැත. නැණවතුනට ඍජු ව ම ඒ හැම පැහැදිලි ය; දැනුම ඇත්තනට ඒවා දෝෂ රහිත ය. රිදී වෙනුවට මගේ උපදෙස් තෝරා ගන්න; අනගි රන්වලට වඩා දැනුම තෝරා ගන්න. මන්ද ප්‍රඥාව රතුකැටවලට වඩා ඉතා වටනේ ය; ඔබ ආශා වන කිසිවක් ඊට සම කළ නො හැක. “ප්‍රඥාව වන මම සිහි නුවණ සමඟ වාසය කරමි; අවබෝධය හා විචක්ෂණ බුද්ධිය මා සතු ය. නපුරට වෛරවීම, ස්වාමින්වහන්සේට භයවීම ය. උඩඟුවටත්, අහංකාරයටත්, නපුරු හැසිරීමටත්, දුෂ්ට කතාවටත් මම ද්වේෂ කරමි. ගුරු උපදෙස් හා හරි දැක්ම මා සතු ය; අවබෝධය හා බලය ද මට ඇත. රජවරු මා මගින් රජකම් කරති; පාලකයෝ මා මගින් යුක්ති සහගත නීති පනවති. අධිපතීන් ආණ්ඩුකරන්නේත්, පොළොව මුළුල්ලේ බලධරයින් රට පාලනය කරන්නේත් මා මගිනි. මට ප්‍රේම වන්නන්ට මමත් ප්‍රේම කරන්නෙමි. මා සොයන්නවුන්ට මම සම්භ වන්නෙමි. ධනය ද ගෞරවය ද පවතින සම්පත් හා සෞභාග්‍ය ද මා වෙත ඇත. මගේ පලදාව අමිශ්‍ර රන්වලට වඩා හොඳ ය; මගේ ලාභය පිරිසිදු රිදීවලට වඩා ඉහළ ය. මම ධර්මිෂ්ඨ මාර්ගයේ, යුක්තියේ මාවත් දිගේ ගමන් කරන්නේ, මට ප්‍රේම කරන්නන්ට වස්තුව උරුම කර දෙමින්, ඔවුන්ගේ ගබඩා පිරෙන්නට සලසමිනි. “ස්වාමින්වහන්සේ ස්වකීය පුරාතන වැඩ කටයුතුවලට කලින්, ස්වකීය මුල් කටයුත්ත වශයෙන්, මා බිහි කළ සේක.

