හිතෝපදේශ 8:1-10

හිතෝපදේශ 8:1-10 SCV

ප්‍රඥාව උස් හඬින් අමතන්නේ නැති ද? අවබෝධය ඇගේ උස් හඬ නගන්නේ නැති ද? මාර්ගය ඔස්සේ මාවත් එකට හමුවන තැන, උස් තැනක ඈ පිහිටා සිටගනී. පුරවරයට යන පුර දොරටු පසෙක සිට, පුරවර පිවිසුමේ සිට ඈ හඬ නගා මෙසේ කියන්නී ය: “මා මේ හඬ ගසන්නේ නුඹලාට ය එම්බා මිනිසුනි, සමස්ත මිනිස් වර්ගයාට ම ඇසෙන්නට මම හඬ නගා පවසන්නෙමි. අනුවණයිනි, සිහි නුවණ ලබා ගන්න; අඥානයිනි, බුද්ධිය ලබා ගන්න. සවන් දෙන්න, අගනා දෑ කියන්නට මට තියේ; හරි දේ කියන්නට මගේ දෙතොල් විවර කරමි. මගේ මුවින් පැවසෙන්නේ සත්‍යය ය; මන්ද මගේ දෙතොලට දුෂ්ටකම පිළිකුලක් ය. මා මුවේ හැම වචනයක් ම ධාර්මික ය; හොර බොරු වංචා කිසිවක් ඒවායේ නැත. නැණවතුනට ඍජු ව ම ඒ හැම පැහැදිලි ය; දැනුම ඇත්තනට ඒවා දෝෂ රහිත ය. රිදී වෙනුවට මගේ උපදෙස් තෝරා ගන්න; අනගි රන්වලට වඩා දැනුම තෝරා ගන්න.