හිතෝපදේශ 5:1-23

හිතෝපදේශ 5:1-23 SCV

මා පුත, මගේ ප්‍රඥාවට අවධානය යොමු කරන්න. අවබෝධයේ මගේ වචනවලට මනාව සවන් දෙන්න. ඒ, ඔබ විචක්ෂණ බුද්ධියෙන් කටයුතු කරනු පිණිස ය; ඔබගේ දෙතොලින් දැනගැන්ම සුරැකෙනු පිණිස ය. අනාචාර ගැහැණියකගේ තොල්වලින් මී පැණි වෑහේ; ඇගේ කතාව තෙල්වලටත් වඩා සුමුදු ය. එහෙත් අවසානයේදී ඇය කොහොඹ මෙන් තිත්ත වනු ඇත; දෙමුවහත් කඩුවක් මෙන් මාරක වනු ඇත. ඇගේ දෙපා බැස යන්නේ, මරණය වෙතට ය; ඇගේ පියවර ඇදී යන්නේ මිනී වළට ය. ජීවනයේ මාර්ගය ගැන ඇගේ කිසි සැලකිල්ලක් නැත. ඇගේ මාවත් ඇද ය, එහෙත් ඈ ඒ වග නො දන්නී ය. එබැවින් දැන්, මා පුතුනි, මට සවන් දෙන්න; මා පවසන දෙයින් ඉවත නො හැරෙන්න. ඇගේ මාවතින් ඈත් ව සිටින්න; ඇගේ නිවසේ දොර අසලටවත් නො යන්න. ඔබගේ ශක්තියේ පල අනුනට නො දේවා! කෘෘරවූවන්ට, ඔබගේ ජීවිත අවුරුදු පාවා නො දේවා! ඔබගේ ධනය අන්‍යයන්ගේ විනෝදය පිණිස නො වේවා! ඔබගේ වෙහෙස මහන්සිය, පිට ගෙදරක් ධනවත් නො කෙරේවා! නැතහොත් අන්තිමේදී වන්නේ, ඔබේ මාංසය ක්ෂය වී, ගත වැහැරුණු කල, කෙඳිරිගාන්නට සිදුවීම ය. ඔබට මෙසේ කියන්නට සිදු වෙයි. එනම්, “මම උපදෙසට වෛර කළ හැටි! නිවැරදි වීම ප්‍රතික්ෂේප කළ හැටි! මගේ ගුරුවරුනට මා කීකරු වූයේ නැත; මගේ උපදේශකයින්ගේ ගුරුකම් තැකුවේ ද නැත. දෙවියන්වහන්සේගේ මුළු ජන සමාජය ඉදිරියේ මම විනාශයේ කට අද්දරට ම පැමිණ ඇත්තෙමි” යනුවෙනි. ඔබේ ම පොකුණේ වතුර, ඔබේ ම උල්පතින් ගලන ජලය පානය කරන්න. ඔබගේ උල්පත් පිටත වීදිවලටත්, ඔබගේ ජල ධාරා ප්‍රසිද්ධ ස්ථානවලටත් ගලා යා යුතු ද? ඒවා ඔබට පමණක් ම වේවා! අන්‍යයන් හා ඊට පංගුකාරකමක් කිසි දා නො තිබේවා! ඔබේ උල්පතට ආශිර්වාද ලැබේවා! තුරුණු වියේ ඔබේ බිරිඳ සමඟ ඔබ ප්‍රීතිය විඳ ගනීවා! සෙනෙහෙබර මුව දෙනක වැනි, සුන්දර මුව දෙනක වැනි, ඇගේ පියයුරුවලින් හැම විට ඔබ සැනසේවා! ඇගේ ආදරයෙන් හැමදා ඔබ බැඳ ගනු ලැබේවා! අනාචාර ගැහැණියකට බැඳෙන්නේ කුමට ද? මා පුත, අන් සතු අඹුවකගේ ළැම වැලඳගන්නේ කුමකට ද? මන්ද මිනිසාගේ ක්‍රියා මාර්ග ස්වාමින්වහන්සේ හමුවේ විවෘත ය; ඔහුගේ සියලු මාවත් උන්වහන්සේ පරීක්ෂා කරන සේක. දුෂ්ට මිනිසකුගේ නපුරු ක්‍රියා ඔහු පිටට ම කැරකී එයි; ඔහුගේ පාප රැහැනින් තදින් ඔහු වෙලාගැනේ. ශික්ෂණයෙන් තොර වීම නිසා ඔහු නැසී යයි; ඔහුගේ තද මෝඩකමින් ඔහු මුළාව යයි.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 5:1-23 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය