හිතෝපදේශ 26:13-28

හිතෝපදේශ 26:13-28 SCV

“අන්න පාරේ සිංහයෙක් සිටී; නිදැල්ලේ ඇවිදින සිංහයෙක් වීදියේ වෙතැ” යි අලසයා පවසයි. දොර, සරනේරුව පිට ඒ අතටත්, මේ අතටත් හැරෙන්නා සේ කම්මැලියා තම යහන පිට ඒ මේ අත පෙරැළේ. අලසයා කෑම පිඟානට අත දමන නමුත් යළි එය කටට ගන්නට පවා කම්මැලි වෙයි. නුවණින් පිළිතුරු දෙන හත් දෙනකුටත් වඩා තමා නුවණැත්තෙකැයි කම්මැලියා සිතයි. මඟදී අනුන්ගේ ගැටුමකට මැදිහත්වන්නා, පාරේ යන බල්ලකු උගේ කන්වලින් අල්ලා ගත්තා වැනි ය. මාරක ගිනි පෙනෙලි හා ඊ ගස් විදින පිස්සකු වැනි ය, තම අසල්වැසියා රවටමින්, “විහිලුවටයි මා ඒක කළේ යැ” යි කියන මිනිසා. දර නැති වන විට ගින්න නිවෙයි; කේලම් කියන්නෙක් නොමැති විට ගැටුම් සංසිඳේ. ගිනි අඟුරුවලට අඟුරුත්, ගින්නට දරත් යම් සේ ද ආරවුල් ඇවිස්සීමට ගැටුම්කාරී මිනිසාත් ඒ වගේ ය. ඕපාදූප වචන මිහිරි රස කැවිල්ලකි; එය කෙනකුගේ ඇතුළාන්තයට ම ගිලා බහී. සිත යට නපුර තබාගෙන මුදු වදන් තෙපලන තොල්, රිදී ගෑ මැටි බඳුනක් වැන්න. කුඩුකේඩු මිනිසා තම හදෙහි ගබඩා කර ඇති වංචාව තම තොල්වල චාටු කතාවෙන් වසා ගනී. ඔහුගේ කතාව මන බඳනා වුවත්, ඔහු විශ්වාස නො කරන්න; මන්ද ඔහුගේ හදවතේ පිළිකුල්කම් හතක් ඇත. රැවටිල්ලෙන් ඔහු තම කුඩුකේඩුකම වසා ගත්තත්, ඔහුගේ දුෂ්ටකම සභාවේදී හෙළි වනු ඇත. යමෙක් වළක් හාරන්නේ නම් ඔහු ම එහි වැටෙනු ඇත. යමෙක් ගලක් පෙරළන්නේ නම්, එය ඔහු පිටට ම පෙරළේ. බොරුකාර දිවක් ඇත්තා එයින් රිදුණු අයට ද්වේෂ කරයි; ඉව්වා බස් දොඩන මුඛය විනාශය ගෙනේ.