හිතෝපදේශ 25:1-14

හිතෝපදේශ 25:1-14 SCV

පහත දැක්වෙන්නේ යූදාහි රජු වූ හෙසකියාගේ මිනිසුන් විසින් පිටපත් කරන ලද සාලමොන්ගේ තවත් හිතෝපදේශ වේ: යම් කරුණක් සඟවා තැබීම දෙවියන්වහන්සේගේ ගෞරවය ය; යම් කරුණක් සොයා දැනගැනීම රජුන්ගේ ගෞරවය ය. අහස ඉහළ සේ ම, පොළොව ගැඹුරු සේ ම රජුන්ගේ හදවත් ද සෝදිසි කර දැනගත නො හැකි ය. රිදී පහදු කර, එහි බොර ඉවත් කරන්න; එවිට රිදීකරුවාට බඳුනක් පිණිස අමු-ද්‍රව්‍ය ලැබේ. රජු ඉදිරියෙන් දුෂ්ටයින් ඉවත් කර දමන්න; එවිට ඔහුගේ සිංහාසනය ධර්මිෂ්ඨකමින් ස්ථිර වේ. රජු ඉදිරියේ තමා ම උසස් කර නො ගන්න, උත්තමයින් අතරේ ප්‍රභූ ආසනයකට නො යන්න; මන්ද, උත්තමයකු ඉදිරියේ අවමානයට පාත්‍ර වනවාට වඩා, “මේ ප්‍රභූ අසුනකට එන්නැ” යි ඇරියුම් ලැබීම යෙහෙක. ඔබගේ දෑසින් ඔබ දුටු දේ ඉක්මන් වී උසාවියට ගෙන නො යන්න. මන්ද අන්තිමේදී ඔබේ අසල්වැසියා ඔබ ලජ්ජාවට පත් කළොත් ඔබ කුමක් කරන්න ද? ඔබගේ අසල්වැසියා සමඟ තර්ක කරන විටෙක අන් කෙනකුගේ රහස හෙළි නො කරන්න. එසේ කළහොත් යමකු ඒ අසා ඔබට අපහාස කරනු ඇත; එවිට ඔබේ හොඳ නමට වන කැළල මැකී යන්නේ නැත. තැනට උචිත වචනය, රනින් කළ ඇපල් ගෙඩි නෙළුෑ රිදී කර්මාන්තයක් වැන්න. සවන් යොමන කනකට, ප්‍රඥාවන්තයකුගේ තරවටුව රන් අරුංගලයක් හෝ දඹ රන් ආභරණයක් වැන්න. අස්වනු කාලයට හිම ශීතල යම් සේ ද, විශ්වාසී පණිවුඩකරුවා ඔහු යැවූ අයට එසේ ම ය; ඔහු තම ස්වාමියාගේ ආත්මය ප්‍රබෝධවත් කරයි. තමා විසින් නුදුන් ත්‍යාග ගැන උදම් අනන්නා, වැහි නැති වලාකුළු හා සුළඟ වැන්න.

මෙයට අදාළ වීඩියෝ