හිතෝපදේශ 24:17-34

හිතෝපදේශ 24:17-34 SCV

ඔබගේ සතුරා වැටී ගිය කල, උදාරම් නො වන්න; ඔහු පැකිළී යන කල ඔබේ හදවතින් ප්‍රීති නො වන්න. නැතහොත් ස්වාමින්වහන්සේ ඒ දැක නො සතුටු වී, උන්වහන්සේගේ උදහස ඔහු වෙතින් ඉවත් කර ගනු ඇත. දුෂ්ට මිනිසුන් නිසා නොරිස්සුම් නො වන්න; දුෂ්ටයන් ගැන ඊර්ෂ්‍යා නො කරන්න. මන්ද දුෂ්ට මිනිසුනට අනාගත බලාපොරොත්තුවක් නැත; දුෂ්ටයින්ගේ පහන ද නිවා දමනු ලැබේ. ස්වාමින්වහන්සේට ද රජ්ජුරුවන්ට ද භය පක්ෂපාත වන්න; කැරලිකරුවන් සමඟ එක් නො වන්න. මන්ද ඒ දෙදෙනා ඔවුන් පිට හදිසි විනාශයක් එවනු ඇත; කවර විපත්තියක් එවනු ඇද්දැයි දන්නේ කවුරු ද? මේවා ප්‍රඥාවන්තයින්ගේ උපදේශයන් ය: විනිශ්චයේදී පැත්තක් ගැනීම හොඳ නැත. වැරදිකරු අමතා, “ඔබ නිර්දෝෂය” කියා තීන්දුව දෙන්නාට ජනයා ශාප කරනු ඇත; ජාතීන් චෝදනා කරනු ඇත. එහෙත් වරදකරුවාට දඬුවම් නියම කරන තැනැත්තාට සෙත සැලසේ; මහත් ආශිර්වාද ඔහු වෙත පැමිණේ. අවංක පිළිතුරක් දෙතොල සිප ගැනීමක් වැන්න. ඔබේ කෙතේ ගෙවත්තේ වැඩ ඉවරයක් කරන්න; ඔබේ කුඹුරු සූදානම් කර ගන්න, ඉන්පසු ඔබේ නිවස ගොඩ නගන්න. අහේතුක ව ඔබේ අසල්වැසියාට එරෙහිව සාක්ෂි නො දෙන්න; ඔබේ තොල්වලින් වංචා නො කරන්න. “ඔහු මට කළ ලෙස මමත් ඔහුට කරමි; ඔහු කළ දේට පළිය ගන්නෙමි” යි නො කියන්න. අලසයාගේ කුඹුරු පසු කර මම ගමන් ගතිමි; බුද්ධි හීන මිනිසාගේ මිදි වත්ත ළඟින් ගියෙමි. මෙන්න! එහි හැම තැන කටු පඳුරු නැගී, ඉඩම පුරා වල් වැවී, ගල් බැම්ම ද බිඳ වැටී ඇත. එසේ මා නිරීක්ෂණ කළ දෑ මම හදවතට ගතිමි; ඒ දුටු දැයින් මම පාඩමක් උගත්තෙමි. ටිකක් නිදාගැනීමකි, ඩිංගක් ඇහැපියා ගැනීමකි, ටික වේලාවක් අත් දෙක පොරවා ගැනීමකි; එවිට ඔබට, දුප්පත්කම සොරකු මෙන් පැමිණේ; අවිගත්තකු සේ හිඟකම ඔබ යටත් කර ගනී.