හිතෝපදේශ 23:1-12

හිතෝපදේශ 23:1-12 SCV

පාලකයකු සමඟ ඔබ කෑමට හිඳගන්න කල, ඔබ ඉදිරියේ තබා ඇති දෑ ගැන කල්පනාකාරී වන්න. ඔබ කෑදරයකු වේ නම්, ඔබේ උගුරට පිහියක් තබා ගන්න. ඔහුගේ රසමසවුලට ආශා නො වන්න; මන්ද ඒවා රැවටිලිකාර ආහාර වේ. ධනවත් වන පිණිස දැඩි සේ නො වෙහෙසෙන්න; එයින් වළකින්නට අවබෝධය ඇතුව සිටින්න. ධනය දෙස බැල්මක් හෙළන්න; එය නො පෙනී ගොසිනි; මන්ද එහි පියාපත් පැන නැගී, රාජාලියකු මෙන් එය අහසට පියඹා යනු ඇත. මසුරු මිනිසකුගේ අහර අනුභව නො කරන්න; ඔහුගේ රසමසවුලට ආශා නො වන්න. මන්ද හැම විට ඔහු සිතන්නේ ඒවායේ වියදම ගැන ය. “අරගෙන කන්න, බොන්නැ” යි ඔහු කියයි; එහෙත් ඔහුගේ සිතේ අදහස වෙනකක් ය. ඔබ කෑ ස්වල්පය ඔබ වමාරනු ඇත; ඔබගේ ප්‍රශංසනීය වචන ද අපතේ ය. අඥානයකු හා කතාවට නො යන්න; මන්ද ඔබගේ නැණවත් වචන නො වැටහී ඔහු ඔබට අවඥා කරනු ඇත. ඉපැරණි මායිම් ගල් වෙනස් නො කරන්න; පියා අහිමි අනාථයින්ගේ ඉඩම් අල්ලා නො ගන්න. මන්ද ඔවුන්ගේ මිදුම්කරුවාණෝ බලවත් ය; එතුමන් ඔබට එරෙහිව ඔවුන් උදෙසා පෙනී සිටිනු ඇත. ගුරු උපදෙසට ඔබේ හදවත යොමු කරන්න; දැනුම ගෙනෙන වදන්වලට ඔබේ සවන් යොමන්න.