හිතෝපදේශ 19:14-29

හිතෝපදේශ 19:14-29 SCV

ගේ-දොර හා ධන සම්පත් මා-පියන්ගෙන් එන උරුමයකි; එහෙත් නැණවත් බිරිඳක්, ලැබෙන්නේ ස්වාමින්වහන්සේගෙනි. අලසකම තද නින්දට මග පාදයි; කම්මැලියාට ආහාර අහේනි ඇති වෙයි. ආඥාව පිළිපදින්නා තම ජීවිතය රැක ගනී; තම මාර්ගවලට අපරීක්ෂාකාරීවන්නා මියැදේ. දුප්පතුන්ට කරුණා පෑම ස්වාමින්වහන්සේට ණයට දීමකි; ඔහු කළ දෑට උන්වහන්සේ ප්‍රතිඵල දෙන සේක. ඔබගේ පුත්‍රයා හික්මවන්න, එවිට බලාපොරොත්තුවක් තියේ; එහෙත් ඔහුගේ විනාශයට සිත් නැඹුරු නො කරන්න. වහා කිපෙන මිනිසා එහි විපාකය ද විඳිය යුතු ය; ඔබ ඔහු නිදහස් කළහොත්, යළි යළිත් එසේ කරන්නට සිදු වේ. අවවාදයට සවන් දී ගුරු-හරුකම පිළිගන්න; එවිට අනාගතය සඳහා ඔබ ප්‍රඥාව අත්කර ගනී. මිනිසාගේ හදවතේ සැලසුම් බොහෝ ය; එහෙත් සඵලවත් වන්නේ, ස්වාමින්වහන්සේගේ අරමුණ ය. මිනිසකුගේ දැඩි ආශාව නොමියෙන ප්‍රේමයයි; බොරුකාරයකු වනවාට වඩා දුප්පත්කම හොඳ ය. ස්වාමින්වහන්සේට භයවීම ජීවනයට මග පෙන්වයි; එහි පිහිටන්නා සෑහීම ඇතුව විශ්‍රාම ලබන්නේ ය, විපත්තිය ඔහුට ළං නො වේ. අලසයා කෑම පිඟානට අත දමන නමුත් යළි එය කටට ගන්නට පවා කම්මැලි වෙයි. සමච්චල්කරන්නාට තලන්න, එවිට අඥානයා සිහි නුවණ ලබනු ඇත; බුද්ධිමතාට තරවටු කරන්න, එවිට ඔහු දැනගැන්ම ලබනු ඇත. තම පියාට සැහැසිකම් කරන, තම මව පන්නා දමන පුත්‍රයා, ලජ්ජාවත්, නින්දාවත් ගෙනෙයි. අවවාදයට කන්දීම නවතන්න මා පුත, එවිට දැනගැන්මේ වචනයෙන් ඔබ දුරු වී සිටිනු ඇත. දූෂිත සාක්ෂිකරු යුක්තියට ගරහයි; දුෂ්ටයා කට පුරා අයුතුකම ගිල දමයි. ගරහන්නා උදෙසා සූදානම් ව ඇත්තේ දඬුවම ය; අඥානයාගේ පිටුපසට කෝටු පාර ය.