හිතෝපදේශ 17:1-14
හිතෝපදේශ 17:1-14 SCV
සණ්ඩු-දබර සමඟ සාද පවත්වන නිවසකට වඩා සාමය සමඟියෙන් යුතු ව වියළි රොටි කැබැල්ලක් හොඳ ය. නැණවත් සේවකයා නින්දා සහගත පුතකු පාලනය කරයි; සහෝදරයින් අතරේ බෙදෙන උරුමයට ද පංගුකරුවකු වෙයි. රිදී පවිත්‍ර කිරීමට කෝව ද රත්රන්වලට උදුන ද වේ; එහෙත් හදවත සෝදිසි කරන්නේ ස්වාමින්වහන්සේ ය. දුෂ්ට මිනිසා නපුරු තොලින් එන කතාවට සවන් දෙයි; බොරුකාරයා කුඩුකේඩු දිව පවසන දෑට කන් දෙයි. දුප්පතුනට සමච්චල්කරන්නා, ඔවුන්ගේ මැවුම්කරුවාණන්ට අවඥා කරයි; අනුන්ගේ විපත්තියකදී සතුටුවන්නා, දඬුවම් නො ලැබ නො සිටී. වයස්ගතවූවන්ගේ ඔටුන්න දරුවන්ගේ දරුවන් ය; දරුවන්ගේ අභිමානය ඔවුන්ගේ පියවරු ය. ව්‍යක්ත කතාව අඥානයකුට ගැළපෙන්නේ නැත; බොරුකාර තොල් පාලකයකුට කොතරම් නො ගැළපේ ද? අල්ලසක් දෙන්නාට එය වශීකරණයක් මෙන් පෙනෙයි; හැරෙන හැරෙන අත ඔහු සඵල වෙයි. වරදක් වසා දමන්නා ප්‍රේමය වඩවයි; එහෙත් කාරණයක් යළි මතුකරන්නා මිත්‍රත්වය බිඳියි. අඥානයකුට පහර සියයකට වඩා බුද්ධිමතකුට එක තරවටුව කා වදින්නේ ය. දුෂ්ට මිනිසා කැරලිකාරකමට ම නැඹුරු ය; එබැවින් ඔහුට එරෙහිව දයා විරහිත නිලධාරියකු යැවේ. මෝඩකම් කරන අඥානයකුට මුහුණ දෙනවාට වඩා, පැටවුන් අහිමි වුණ වැලහින්නකට මුහුණ පෑම, හොඳ ය. කළ හොඳට, යමෙක් නපුරෙන් ප්‍රතික්‍රියා කරයි නම්, කිසි කලෙක නපුර ඔහුගේ ගෙදරින් පිට වී නො යයි. ගැටුමක් ඇරඹීම වේල්ලක බිඳුමක් ඇති කරනවා වැන්න; එබැවින් ආරවුල හටගන්නට පෙර එය අත්හැර දමන්න.

