හිතෝපදේශ 16:18-33
හිතෝපදේශ 16:18-33 SCV
විනාශයට පෙරටුවෙන් උඩඟුව ගමන් ගනී; වැටීමට පෙරටුවෙන් මහ අහංකාරයකි. පීඩිතවූවන් අතරේ යටහත් ව සිටීම, උඩඟුවූවන් සමඟ කොල්ලය බෙදා ගන්නවාට වඩා හොඳ ය. වචනය සලකන්නා සමෘද්ධ වෙයි; ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්නා භාග්‍යවත් ය. හදවතින් ප්‍රඥාවත්හු බුද්ධිමතුන් යයි අමතනු ලබති; ප්‍රිය වදනින් කෙනකුට ඉගෙනීම එකතු කරනු ලබයි. වැටහීම ඇත්තනට එය ජීවනයේ උල්පතකි; එහෙත් මෝඩකම අඥානයාට දඬුවම් ගෙනේ. නැණවත් මිනිසාගේ හදවත, ඔහුගේ මුඛයට මග පෙන්වමින්, ඔහුගේ තොල් අතරින් පැවසෙන දැයින් ඉගෙනීම එකතු කරනු ලබයි. කරුණාවන්ත වචන මී වදයකි, එය සිතට මිහිරකි; ගතට සුවයකි. මිනිසකුට හරියයි පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර මරණයට මග පෙන්වයි. කම්කරුවා වැඩ කරවන්නේ ඔහුගේ ආහාර රුචියයි; ඔහුගේ කුසගින්න වැඩට ඔහු පොලඹවයි. අධමයා දුෂ්ට සැලසුම් යොදයි; ඔහුගේ කතාව ඇවිළෙන ගින්දර ය. අගතිගාමී මිනිසා වාද භේද අවුස්සයි; කේලමා ළබැඳි මිතුරන් වෙන් කරයි. සැහැසි මිනිසා, තම අසල්වැසියා පොලඹවා, නො හොඳ මාවත්වල ඔහු ගෙන යයි. ඇසින් ඉඟිකරන්නා, අගතිය සැලසුම් කරයි; තම තොල් පෙරළන්නා, නපුරකට සූදානම් වෙයි. පැසුණු හිසකේ ගෞරවයේ ඔටුන්නකි; එය අත්කර ගන්නේ, ධර්මිෂ්ඨ ජීවිත පැවැත්මකිනි. ඉවසිලිවන්තයා, රණවිරුවකුට වඩා අගේ ය; ආත්ම දමනය කරන්නා පුරවරයක් අල්ලා ගන්නාට වඩා වටනේ ය. තීරණයක් ගැනීමට පස ඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එහි හැම තීරණය පැමිණෙන්නේ ස්වාමින්වහන්සේගෙනි.


