හිතෝපදේශ 13:1-13

හිතෝපදේශ 13:1-13 SCV

ප්‍රඥාවත් පුත්‍රයා තම පියාගේ උපදෙස්වලට කන් දෙයි; එහෙත් ගැරහුම්කරුවා තරවටුවට සවන් නො දෙයි. තම තොල්වල පලවලින් මිනිසෙක් යහ දෑ භුක්ති විඳියි; එහෙත් ද්‍රෝහීන්ගේ දැඩි ආශාව සැහැසිකමට ය. තම කට රැක ගන්නා තම දිවි රැක ගනී; එහෙත් දුර දිග නො බලා කතා කරන්නා විනාශයට පැමිණේ. අලසයා දැඩි ව ආශා වන නමුදු ඔහුට කිසිවක් නො ලැබේ; එහෙත් උත්සාහවන්තයාගේ ආශා මුළුමනින් ම ඉටු වේ. දමිටු දනා අසත්‍යයට ද්වේෂ කරති; එහෙත් දුෂ්ටයෝ පිළිකුලත්, නින්දාවත් ගෙන එති. ධර්මිෂ්ඨත්වය ඍජු ගති ඇත්තන් රැකවල් කරයි; එහෙත් දුෂ්ටකම පව්කරුවන් හෙළා දමයි. ඇතැම් අය තමනට කිසිවක් නැති නමුදු, ධනවත් වගක් මවා පාති; වෙනත් අය මහා ධනයක් හිමි නමුදු, දුගී වගක් අඟවති. ධනවතාට තම ධනය තම ජීවිතය මිදීමේ මිලයකි; එහෙත් දුප්පතාට එවැනි තර්ජනයක් නැත. ධර්මිෂ්ඨයින්ගේ ආලෝකය දීප්තිමත් ව බබළයි; එහෙත් අධර්මිෂ්ඨයින්ගේ පහන නිවා දැමේ. අහංකාරයෙන් හට ගන්නේ කලහ පමණි; එහෙත් අවවාද පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත. වංචනික ව ලද මුදල් වහා දියවී යයි; එහෙත් ටිකෙන් ටික රැස් කර ගන්නා එය වැඩි කර ගනී. බලාපොරොත්තු ඉටුවීම පමාවීමෙන් සිත් කලකිරේ; එහෙත් ආශාවන් ඉටුවීම ජීවන වෘක්ෂයකි. අවවාද හෙළා දකින්නා එහි ප්‍රතිවිපාක විඳියි; එහෙත් ආඥා ගරුකරන්නා එහි ඉටු විපාක ලබයි.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 13:1-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය