හිතෝපදේශ 11:10-22

හිතෝපදේශ 11:10-22 SCV

දමිටුන් දියුණු වන කල නගරය ප්‍රීති වෙයි; අදමිටුන් වැනසී යන කල, ප්‍රීති ඝෝෂා පැතිරේ. ඍජු ගුණ ඇත්තන්ගේ ආශිර්වාදයෙන් නගරය උසස් කෙරේ; එහෙත් දුෂ්ටයින්ගේ මුඛයෙන් එය විනාශ කෙරේ. තම අසල්වැසියාට අවමන් කරන්නා අනුවණයෙකි; එහෙත් අවබෝධය ඇත්තා නිහඬ ව සිටියි. ඕපාදූප කියන තැනැත්තා රහස් හෙළි කරයි; එහෙත් විශ්වාසවන්ත මිනිසා රහසක් රැක ගනී. නිසි මග පෙන්වීමක් නැති විට ජාතියක් ඇද වැටේ; එහෙත් අනුශාසකයන් බොහෝ වූ කල, ජයග්‍රහණය ඇත. නො දන්නා කෙනකුට ඇප වෙන්නා කරදරේ වැටෙයි; එසේ අත තබා දිවිරීම ප්‍රතික්ෂේප කරන්නා සුරක්ෂිත ය. කරුණාවන්ත කාන්තාව ගෞරවය අත්කර ගනී; එහෙත් නිර්දය මිනිසුන් අත්කර ගන්නේ ධනය පමණි. කාරුණික මිනිසා තමාට ම සෙතක් සලසා ගනී; එහෙත් කුරිරු මිනිසා තමා පිට කරදර පටවා ගනී. දුෂ්ට මිනිසා වංචනික වේතන ලබා ගනී; එහෙත් දමිටුකම වපුරන්නා නිසැක ත්‍යාගයක් ලබන්නේ ය. සැබවින් ම දමිටු මිනිසා ජීවනය අත්කර ගනී; එහෙත් නපුර හඹායන්නා මරණය ළඟාකර ගනී. වංක සිත් ඇත්තන් ස්වාමින්වහන්සේට පිළිකුලක් ය; එහෙත් නිදොස් මගෙහි යන්නන් ගැන උන්වහන්සේ ප්‍රසන්න ය. සහතික වශයෙන් දැනගන්න, දුෂ්ටයා දඬුවම් නො ලබා නො සිටියි; එහෙත් ධර්මිෂ්ඨයෝ නිදහස් ව යන්නෝ ය. සුරූපී වුව ද, බුද්ධි හීන කාන්තාව ඌරකුගේ හොම්බෙහි ලූ රන් මුදුවක් වැන්න.

මෙයට අදාළ වීඩියෝ