හිතෝපදේශ 1:1-33

හිතෝපදේශ 1:1-33 SCV

දාවිත්ගේ පුත්‍රයා වන ඉශ්‍රායෙල් රජු වූ සාලමොන්ගේ හිතෝපදේශ: මේවා, ප්‍රඥාව හා උපදෙස දැනගැන්මටත්, අවබෝධයේ වචන වටහා ගැන්මටත් ය. නැණවත් හැසිරීමේ උපදෙස් ලබා ගැනීමටත් එමඟින් හරි දේ යුතු දේ හා සාධාරණ දේ කිරීමටත් ය. නුවණ මද අයට සිහි නුවණ ද යෞවනයනට අවබෝධය හා විචක්ෂණ බුද්ධිය ද ගෙන දීමටත් ය. ප්‍රඥාවත්හු සවන් දී, තම උගත්කම වැඩි කර ගනිත්වා! බුද්ධිමත්හු නිපුණතාව ලබාගනිත්වා! ඒ, හිතෝපදේශ හා උපමා කතා ද ප්‍රාඥයින්ගේ කියුම් හා ප්‍රහේලිකා ද වටහාගැනීමෙනි. ස්වාමින්වහන්සේට භයවීම, ප්‍රඥාවේ පටන් ගැන්ම ය; එහෙත් අඥානයෝ ප්‍රඥාව ද උපදෙස ද සුළු කොට තකති. සවන් දෙන්න මා පුත, ඔබේ පියාගේ අවවාදය වෙත; ඔබේ මවගේ උපදෙස් අත්හැර නො දමන්න. ඒවා ඔබේ හිසට ආකර්ෂවත් මල් දමක් ද ඔබේ ගෙල සරසන මාලයක් ද වේ. මා පුත, පව්කරුවෝ ඔබ පොලඹවන කල, ඔවුනට අවනත නො වන්න. “එන්න, අප සමඟ එන්න. අපි ලේ හැලුමට මග රැක සිටිමු; අපි රැක සිට අහිංසකයින් අහේතුක ව අල්ලා ගනිමු. ෂෙයෝල සේ අපි ඔවුන් පණ පිටින් ගිල දමමු; වළ පල්ලට යන්නවුන් පරිදි, මුළුමනින් ඔවුන් ගිල දමමු. හැම අයුරක අගනා භාණ්ඩ අපට ලැබෙනු ඇත; කොල්ල කෑ දෙයින් අපේ ගෙවල් පුරවාගත හැක. අප හා සමාගම්කාර වෙයන්න. අප හැමට පොදු පසුම්බියක් තබා ගනිමු” යි ඔවුන් පැවසිය හැක. මා පුත, ඔවුන් යන මාර්ගයේ නො යන්න; ඔවුන්ගේ මාවතින් ඔබේ පා වළක්වාගන්න. මන්ද ඔවුන්ගේ පාද දුෂ්ටකමට යුහුසුලු ය; ලේ හැලුමට කඩිනම් ය. තවද යම් පක්ෂියකුට පෙනෙන ලෙස දැලක් එලීම කෙතරම් නිෂ්ඵල ද! එහෙත් මේ මිනිසුන් රැක සිටින්නේ, තමන්ගේ ම ලේ හැලුමට ය; ඔවුන් රහසේ රැක සිටින්නේ තමන්ගේ ම ජීවිතවලට ය. අයුතු වාසියට ගිජුවන සියල්ලන්ගේ මාර්ග එසේ වේ. අයුතු වාසි ලබන්නන්ගේ ජීවිත අයුතු වාසියෙන් ම නැසේ. ප්‍රඥාව වීදියෙහි උස් හඬින් මොරගසන්නී ය; ජනයා රැස් වන කඩ-මණ්ඩිවල සිට ඈ උස්හඩ නගන්නී ය. ඝෝෂාකාරී වීදි ඉස්මත්තේ සිට, ඈ මොරගසන්නී ය; පුරවර පිවිසුම් දොරටු පසෙක සිට, ඈ මෙසේ කියන්නී ය: එම්බා අනුවණයිනි, තව කොතෙක් කලක් අනුවණකමට ඇලුම් වෙනවා ද? ගරහන්නනි, තව කොතෙක් කලක් ගැරහීමෙන් සතුටු වෙනවා ද? අඥානයින් තව කොතෙක් කලක් නැණ නුවණට වෛර වෙනවා ද? මගේ තරවටුවට ඔබ ප්‍රතිචාර දැක්වී නම්, මවිසින් මගේ ආත්මය නුඹ පිට වගුරුවා, මගේ ඉගැන්වීම් නුඹට දැනගන්නට සලසන්නට තිබිණි. එහෙත් මා හඬ ගැසූ කල, නුඹ මා එපා කළ නිසා, මා අත දිගු කළ විට, කිසිවකුත් එය නො සැලකූ නිසා, මගේ සියලු උපදෙස් නුඹ ගණන් නො ගත් නිසා, මගේ තරවටුව නො පිළිගත් නිසා, මමත්, නුඹේ විපත්තියේදී සිනාසෙන්නෙමි; නුඹ ආපදාවලට ලක් වූ කල, මම සමච්චල් කරන්නෙමි. ආපදා, කුණාටුවක් සේ නුඹ පිසදාලන කල, විපත්ති, සුළි සුළඟක් සේ නුඹ වනසාලන කල, දුක් කරදර නුඹ යටකරගන්නා කල, මම නුඹට සමච්චල් කරන්නෙමි. එවිට ඔවුන් මට හඬ ගසනු ඇත, එහෙත් මම උත්තර නො දෙන්නෙමි; ඔවුන් දැඩි උවමනාවෙන් මා සොයනු ඇත, එහෙත් ඔවුනට මා සම්භ වන්නේ නැත. ඔවුන් නැණ නුවණට ද්වේෂ කළ නිසා, ස්වාමින්වහන්සේට භයවීම තෝරා නො ගත් නිසා, ඔවුන් මගේ උපදෙස් නො පිළිගත් නිසා, මගේ තරවටුව ඉවත හෙළා දැමූ නිසා, ඔවුන් තමන් කළ දේවල පල භුක්ති විඳිනු ඇත; තම යටිකූට්ටු වැඩවල පලවලින් පිරෙනු ඇත. මන්ද මෙම අනුවණයින්ගේ මුරණ්ඩුකම ඔවුන් නසා දමයි; අඥානයින්ගේ උදාසීනත්වය ඔවුන් වනසා දමයි. එහෙත් මට සවන් දෙන කවුරු නමුත්, උපද්‍රවයනට බිය නො වී, සැනසිලි සුවයෙන්, සුරක්ෂිත ව ජීවිතය භුක්ති විඳින්නෝ ය.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 1:1-33 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය