පිලිප්පි 3:12-21

පිලිප්පි 3:12-21 SCV

මේ දෑ මා අත්කර ගෙන සිටිනවා නො වේ. පරිපූර්ණත්වයට පමුණුවනු ලැබ සිටිනවාත් නො වේ. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලා ගත්තේ කුමක් සඳහා ද, ඒ දෑ අල්ලා ගැනීමට වැර දරමින් සිටිමි. සැබවින් ම සහෝදරයිනි, තවමත් මා ඒ දෑ අල්ලා ගත්තෙමැයි නො සිතමි. එහෙත් එක් දෙයක් කරමි. පසුපසින් ඇති දෑ අමතක කොට, ඉදිරියෙන් ඇති දෑ වෙත මුළු වීරියෙන් ම පෙරට ඇදෙමින්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගෙන් වූ ස්වර්ගීය කැඳවීමේ දිනුම ලබන්නට දිනුම් කණුව කරා පෙරට දුවන්නෙමි. අප අතරින් පරිණතවූවන් එබඳු ආකල්පයක් දැරිය යුතු ය. යම් හේතුවක් මත ඔබ අන් මතයක් දරන්නේ නම්, දෙවියන්වහන්සේ එයත් ඔබට වටහා දෙනු ඇත. කෙසේ වෙතත් දැනට ම අප යම් තත්වයකට පැමිණ සිටිමු ද, ඒ අනුව හැසිරෙමු. සහෝදරයිනි, එක් ව මා අනුගමන කරන්නන් වෙමින්, අප ඔබට පෙන්වා දුන් ජීවන රටාව අනුව යන්නන් ආදර්ශයට ගන්න. මන්ද නිතර ඔබට කියා ඇති සේ, දැන් යළි කඳුළින් ද යුතු ව මා ඔබට කියන්නේ, බොහෝ දෙනකු ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ සතුරන් ව ජීවත් වන බවයි. ඔවුන්ගේ අවසානය විනාශයයි; ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ බඩ ය; ඔවුන් පාරට්ටු කර ගන්නේ තමන් ලජ්ජා විය යුතු දෑ ගැන ය. ඔවුන්ගේ මනස රැඳී ඇත්තේ ලෞකික දෑ පිට ය. එහෙත් අපගේ පුරවැසි භාවය ස්වර්ගයෙහි ය. එහි සිට ගැලවුම්කරුවෙක්, එනම් යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ එන තුරු, අපි මග බලා සිටින්නෙමු. උන්වහන්සේ සියලු දේ තම අණසක යටතට ගැනීමට ඇති බලයෙන් මිනිස් අපගේ පහත් සිරුරු උන්වහන්සේගේ මහිමවත් ශරීරයේ සමානත්වයට වෙනස් කරනු ඇත.

පිලිප්පි 3:12-21 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය