පිලිප්පි 2:25-30
පිලිප්පි 2:25-30 SCV
මගේ උපකාරයට ඔබේ නියෝජිතයා වශයෙන් ඔබ මා වෙත එවූ එපප්‍රොදිතස්, ඔබ වෙත ආපසු එවීම යුතු යැයි සිතුවෙමි. ඔහු මගේ සහෝදරයා ය; මගේ සේවයේ හවුල්කරුවා හා හවුල් හේවායා ය. ඔබ හැම දකින්නට ඔහු දැඩි ආශාවෙන් සිටීමත්, ඔහු රෝගී ව සිටි වග ඔබත් දැනගැනීම නිසා ඔහු සංවේගයට පත් වීමත් ඊට හේතුවයි. ඇත්තෙන් ම ඔහු මැරෙන තරමට රෝගී විය; එහෙත් දෙවියන්වහන්සේ ඔහුට දයා පෑ සේක. ඔහුට පමණක් නො ව, මා දුකින් දුකට පත්වීම වළකමින් උන්වහන්සේ මටත් දයා පෑ සේක. එබැවින් යළි ඔහු දැක්මෙන් ඔබ සතුටින් පිනා යන පිණිස හා මගේ කනස්සල්ල හීන වන පිණිස, ඔහු ආපසු එවීමට වඩ වඩා උනන්දු වෙමි. ස්වාමින්වහන්සේ තුළ මහත් සොම්නසින් ඔහු පිළිගන්න. මෙබඳු අයට ගෞරව කරන්න. මන්ද ඔබ විසින් දිය නො හැකි වූ සහාය මට දෙන්නට ඔහු සිය ජීවිතය පවා පරදුවට තබමින්, ක්‍රිස්තුස්වහන්සේගේ සේවය නිසා මරණයට ඒ සා ළං වූයේ ය.

