පිලිප්පි 2:19-30

පිලිප්පි 2:19-30 SCV

ඉක්මනින් තිමෝති ඔබ වෙත එවීමට යේසුස් ස්වාමින්වහන්සේ තුළ මම බලාපොරොත්තු වෙමි. ඒ, ඔබ ගැන තොරතුරු දැන, මා ද දිරිමත් වන පිණිස ය. ඔබගේ සුබ සෙත ගැන ඔහු මෙන් අව්‍යාජ උනන්දුවක් දක්වන කෙනකු මට නැත. හැම කෙනකු ම බලන්නේ තම ලාභ-ප්‍රයෝජනය මිස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා ගැන නො වේ. එහෙත් ඔබ දන්නා පරිදි, තිමෝති, පියකු සමඟ සේවය කරන පුතකු සේ, මා සමඟ ශුභාරංචි කටයුතුවල යෙදීම තුළින් තමන් කවුරුදැයි පෙන්වා තිබේ. එනිසා මෙහිදී මට කුමක් වේ දැයි දැනගත් විගස, ඔබ වෙත ඔහු එවීම මගේ බලාපොරොත්තුවයි. මමත් විගස ඔබ වෙත එනු ඇතැයි යන විශ්වාසයක් ස්වාමින්වහන්සේ තුළ මට තිබේ. මගේ උපකාරයට ඔබේ නියෝජිතයා වශයෙන් ඔබ මා වෙත එවූ එපප්‍රොදිතස්, ඔබ වෙත ආපසු එවීම යුතු යැයි සිතුවෙමි. ඔහු මගේ සහෝදරයා ය; මගේ සේවයේ හවුල්කරුවා හා හවුල් හේවායා ය. ඔබ හැම දකින්නට ඔහු දැඩි ආශාවෙන් සිටීමත්, ඔහු රෝගී ව සිටි වග ඔබත් දැනගැනීම නිසා ඔහු සංවේගයට පත් වීමත් ඊට හේතුවයි. ඇත්තෙන් ම ඔහු මැරෙන තරමට රෝගී විය; එහෙත් දෙවියන්වහන්සේ ඔහුට දයා පෑ සේක. ඔහුට පමණක් නො ව, මා දුකින් දුකට පත්වීම වළකමින් උන්වහන්සේ මටත් දයා පෑ සේක. එබැවින් යළි ඔහු දැක්මෙන් ඔබ සතුටින් පිනා යන පිණිස හා මගේ කනස්සල්ල හීන වන පිණිස, ඔහු ආපසු එවීමට වඩ වඩා උනන්දු වෙමි. ස්වාමින්වහන්සේ තුළ මහත් සොම්නසින් ඔහු පිළිගන්න. මෙබඳු අයට ගෞරව කරන්න. මන්ද ඔබ විසින් දිය නො හැකි වූ සහාය මට දෙන්නට ඔහු සිය ජීවිතය පවා පරදුවට තබමින්, ක්‍රිස්තුස්වහන්සේගේ සේවය නිසා මරණයට ඒ සා ළං වූයේ ය.