ක්‍රිස්තුස්වහන්සේ හා එක්වීමෙන් ඔබ යම් අනුබලයක් ලැබ ඇත්නම්, උන්වහන්සේගේ ප්‍රේමයෙන් යම් සැනසීමක් ලැබ ඇත්නම්, ආත්මයාණන්වහන්සේ සමඟ යම් සහභාගිත්වයක් ඇත්නම්, යම් දයාවක් හා අනුකම්පාවක් ඇත්නම්, ඔබ එකිනෙකා සමඟ එක්සිත් ව, එක පෙමින් යුතු ව, එකාවන් ව, එක අරමුණින් කටයුතු කිරීමෙන්, මගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. ආත්මාර්ථයෙන් හා පුහු මානයෙන් කිසිවක් නො කරන්න. නිහතමානී ව, තමනට වඩා අන් අය, උතුම් කොට සලකන්න. ඔබ හැම කෙනකු ම තම තමාගේ කාරිය පමණක් නො ව, අන් අයගේ කාර්යයන් ද සොයා බැලිය යුතු ය.
ඔබගේ ආකල්පය විය යුත්තේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ම සිතේ ආකල්පයයි:
උන්වහන්සේ දෙවියන්වහන්සේගේ ස්වරූපය දැරූ සේක්,
දෙවියන්වහන්සේ හා සම ව සිටීම, තදින් අල්ලාගෙන සිටිය යුතු දෙයකැයි නො සලකමින්,
එය ඉවත ලා,
දාසයකුගේ ස්වභාව ගෙන,
මිනිසකුගේ සමානත්වයට පැමිණි සේක.
මෙසේ, හුදු මිනිසකුගේ ස්වරූපයෙන් සිටිමින්,
තුමූම යටහත් ව,
මරණය දක්වාත්, එනම් කුරුසියේ මරණය දක්වාත්,
කීකරු වූ සේක.
එබැවින් දෙවියන්වහන්සේ ඉහළ ම තත්වයට උන්වහන්සේ උසස් කර,
සියලු නාමයන්ට වඩා අග්‍ර වූ නාමය උන්වහන්සේට දුන් සේක.
එසේ කළේ, ස්වර්ගය තුළ ද පොළොව පිට ද පොළොවෙන් යට ද සියල්ලන්,
යේසුස් යන නාමයට දණ නැමිය යුතු වන පිණිසත්,
පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය උදෙසා,
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, ස්වාමින්වහන්සේ ය කියා හැම දිවකින් පැවසිය යුතු වන පිණිසත් ය.
එබැවින්, හැම විට ඔබ කීකරු ව සිටි සේ, මා ප්‍රේමණීයයනි, මා ඔබ හා සිටියදී පමණක් නො ව, දැන් මා ඔබ වෙතින් ඈත් ව සිටියදී වඩා කීකරු ව, බයින් හා වෙවුලුමෙන් යුතු ව ඔබගේ ගැලවීම ක්‍රියාවට නගන්න. මන්ද තමන්වහන්සේගේ යහපත් අරමුණු ඉටු කරන්නට කැමති වීම හා එසේ කිරීම සඳහා ඔබ තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේ ය.
කරන හැම දෙයක්, මැසිවිලි කීමෙන් හෝ වාද කිරීමෙන් තොර ව කරන්න. එසේ කළ යුත්තේ වංක වූ, දූෂිත වූ මිනිස් පරපුරක් මැද ජීවනයේ වචනය ඔබ තරකොට අල්ලා ගනිමින්, ලෝකයේ දිදුලන තරු විලස ඔබ නිර්දෝෂී ව හා පවිත්‍ර ව දෙවියන්වහන්සේගේ නො කැළැල් දරුවන් වන පිණිස ය. මෙසේ, මගේ දිවීම හෝ මා දැරූ වෙහෙස නිෂ්ඵල නො වී ය කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට උදම් ඇනිය හැකි වනු ඇත. එහෙත්, ඔබගේ ඇදහිල්ලේ පූජාවත්, මෙහෙයයත් පිට මගේ ජීවය පාන පූජාවක් සේ වගුරුවනු ලබන්නේ වුව, මම සතුටු වෙමි; ඔබ හැම සමඟ ප්‍රීති වෙමි. එලෙස ම ඔබත් මා සමඟ සතුටු විය යුතු ය; ප්‍රීති විය යුතු ය.