පිලිප්පි 1:12-20

පිලිප්පි 1:12-20 SCV

සහෝදරයිනි, මට විඳින්නට සිදු වූ හැම දෙයක් ම ශුභාරංචියේ වර්ධනයට ඉවහල් වී ඇති වග ඔබට දන්වනු කැමැත්තෙමි. මෙසේ මා සිර-බැඳුම් ලැබ සිටින්නේ ක්‍රිස්තුස්වහන්සේ උදෙසා බව රාජකීය මුර සෙබළුන්ටත්, අන් හැමටත් පැහැදිලි වී ඇත. අප සහෝදරයින් වැඩි දෙනෙක්, මගේ මේ සිර-බැඳුම් නිසා දෙවියන්වහන්සේගේ වචනය වඩාත් එඩිතර ව, අභීත ව කතා කරන්නට ස්වාමින්වහන්සේ තුළ ධෛර්යය ලැබ සිටිති. ඇතමකු ඊර්ෂ්‍යාවෙන් ද තරඟයට ද සෙසු අය හොඳ අදහසින් ද ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරන වග සැබෑවකි. පසුව කී අය එසේ කරන්නේ, මෙසේ මා සිරගත ව සිටින්නේ ශුභාරංචිය ගැන වග උත්තර කියන්නට බව දැන, ප්‍රේමයෙනි. එහෙත් පළමු කී අය ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරන්නේ, මගේ මේ සිර-බැඳුම් වඩාත් කරදරකාරී කිරීමේ අදහසින්, ආත්මාර්ථකාමී අභිලාෂයෙනි; අවංක ව නො වේ. ඊට කමක් නැත; වැදගත් වන්නේ හැම අයුරකින් ම, වංක අරමුණින් වේවා, අවංක අරමුණින් වේවා ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරනු ලැබීමයි. මම ඒ ගැන ප්‍රීති වෙමි. ඔව්, මතු මතුත් ප්‍රීති වන්නෙමි. මන්ද ඔබගේ යාච්ඤා ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් දෙන ලද උපකාර ද නිසා, ඒ දෑ මගේ නිදහසට හේතු වන බැව් මා දන්නා බැවිනි. මගේ ජීවත් වීමෙන් වේවා, මරණයෙන් වේවා අන් හැම විට මෙන් දැනුත්, මගේ ශරීරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පමුණු වන පිණිස, කිසි සේත් ලජ්ජාවට පත්වීමේ හේතුවක් නො වී, හැම අයුරින් ම එඩිතර ව සිටීම මගේ දැඩි අපේක්ෂාවත්, බලාපොරොත්තුවත් ය.