ගණන් 5:11-31

ගණන් 5:11-31 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල්වරුන් අමතා මෙසේ කියන්න: ‘යම් කෙනකුගේ බිරිඳ නොමග ගොස්, තම සැමියාට අවිශ්වාසවන්ත වෙමින්, අන් මිනිසකු හා සංවාසයෙහි යෙදී, දූෂිත වූ නමුදු, ඇයට එරෙහිව සාක්ෂි නොමැතිකමින් හා වරද කරද්දී හසු නො වීමේ හේතුවෙන් එය එළිදරවු නො වී, ඇගේ සැමියාට ද එය රහසක් ව තිබිය හැකි ය. එවන් විටෙක, ඇගේ සැමියාට ඊර්ෂ්‍යා සහගත හැඟීමක් පහළ වී, දූෂ්‍ය ව සිටින ඇය ගැන සැක කළහොත්, හෝ ඇය දූෂ්‍ය ව නො සිටින විටෙක වුව ද, ඔහු ඇය ගැන ඊර්ෂ්‍යා සහගත ව සැක පහළ කළහොත්, ඔහු තම බිරිඳ පූජකයා වෙත කැඳවාගෙන යා යුතු ය. ඇය වෙනුවෙන් පූජාවක් වශයෙන්, යව පිටි ඒෆාවකින් දහයෙන් එකක් ද ගෙන යා යුතු ය. එය වරද කෙරේ අවධානය යොමු කරන සිහිගැන්වීමේ පූජාවක් වන ඊර්ෂ්‍යාව සඳහා වූ ධාන්‍ය පූජාවක් බැවින්, ඔහු ඒ මත තෙල් වත් කිරීම හෝ සුවඳ ද්‍රව්‍ය දැමීම හෝ නො කළ යුතු ය. “ ‘පූජකයා ඇය කැඳවා, ස්වාමින්වහන්සේ ඉදිරියේ ඇය සිටුවිය යුතු ය. ඉන්පසු පූජකයා, මැටි බඳුනකට ශුද්ධ ජලය ස්වල්පයක් ගෙන, මණ්ඩප බිමෙහි දූලි ස්වල්පයක් ඒ ජලයට දැමිය යුතු ය. පූජකයා, ස්වාමින්වහන්සේ ඉදිරියේ එම ස්ත්‍රිය සිට වූ පසු, ඇගේ කෙස් වැටිය ලිහා වැටෙන්නට සලස්වා, සිහිගැන්වීමේ පූජාව වන ඊර්ෂ්‍යාවේ ධාන්‍ය පූජාව, ඇගේ දෝතෙහි තබා, ශාපයක් ගෙනෙන තිත්ත වතුර බඳුන, තමන් ම දැරිය යුතු ය. ඉන්පසු පූජකයා ඇය දිවුරවමින්, ඇය අමතා, “ඔබේ සැමියා හා විවාහක ව සිටියදී, වෙනත් පිරිමියකු ඔබ හා සංවාසය නො කළේ නම්, ඔබ නොමග ගොස්, දූෂ්‍ය නො විණි නම්, ශාපයක් ගෙනෙන මේ තිත්ත වතුර ඔබට කිසිදු හානියක් නො කෙරේවා. එහෙත් ඔබේ සැමියා හා විවාහක ව සිටියදී ඔබ නොමග ගියේ නම්, ඔබේ සැමියා හැර අන් පිරිමියකු හා සංවාස කොට, ඔබ දූෂ්‍ය වූයේ නම්” කියා, ඉන්පසු දිවුරුමේ මෙම ශාපයට ස්ත්‍රිය නතු කළ යුතු ය. එනම්, “ස්වාමින්වහන්සේ, ඔබේ කලවය බෙලහීන වන්නටත්, ඔබේ උදරය ඉදිමෙන්නටත් සලස්වා, ඔබේ ජනයාගේ ශාපයටත්, දෝෂ දර්ශනයටත් ඔබ ලක් කරන සේක්වා. ඔබගේ උදරය ඉදිමෙන පිණිසත්, ඔබගේ කලවය බෙලහීන වන පිණිසත් ශාපයක් රැගත් මෙම වතුර ඔබේ සිරුරට ඇතුළු වේවා” යි කිය යුතු ය. “ ‘එවිට එම ස්ත්‍රිය “ආමෙන්, එසේ ම වේවා!” යි කිය යුතු ය. “ ‘ඉන්පසු පූජකයා, මෙම ශාප, පොතක ලියා, තිත්ත වතුරට එය සෝදා හැරිය යුතු ය. ඉන්පසු ඔහු ශාපයක් රැගත් එම තිත්ත වතුර එම ස්ත්‍රියට බොන්නට සැලැස්විය යුතු ය. ශාපයක් හා තද වේදනාවක් පමුණු වන මෙම වතුර ඇගේ සිරුර තුළට පිවිසෙනු ඇත. පූජකයා ඉන්පසු ඊර්ෂ්‍යාව සඳහා වූ ධාන්‍ය පූජාව, ස්ත්‍රිය අතින් ගෙන, ස්වාමින්වහන්සේ ඉදිරියේ තේව කොට, එය පූජාසනය වෙත ගෙන ආ යුතු ය. ඉන්පසු ධාන්‍ය පූජාවෙන් අහුරක් සිහිවීමේ පූජාවක් වශයෙන් ගෙන, පූජකයා එය පූජාසනය මත දවාලිය යුතු ය. ඉන්පසු ස්ත්‍රියට ඒ වතුර බොන්නට සැලසිය යුතු ය. ඇය තමා දූෂ්‍ය කර ගෙන, තම සැමියාට අවිශ්වාසී වී නම්, ශාපයක් හා තද වේදනාවක් ගෙනෙන එම වතුර ඇයට බොන්නට සැලසූ කල, ඒවා ඇගේ සිරුර තුළට වැද, ඇගේ උදරය ඉදිමෙනු ඇත. ඇගේ කලවය බෙලහීන වනු ඇත. මෙසේ තම ජනයා අතරේ ඇය ශාපයක් වනු ඇත. එහෙත් එම ස්ත්‍රිය තමා දූෂ්‍ය කර නො ගත්තී නම්, අපවිත්‍රතාවෙන් තොර ව සිටින්නී නම්, ඈ වරදින් නිදහස් වන්නී ය. දරුවන් ලබන්නට ද සමත් වන්නී ය. “ ‘ස්ත්‍රියක, තම සැමියා හා විවාහක ව සිටියදී නොමග ගොස්, තමා දූෂ්‍ය කර ගත් කල ඊට අදාළ ඊර්ෂ්‍යාව හා සබැඳි නීතිය මෙයයි. තම බිරිඳ ගැන සැක උපදවන සැමියකු තුළ ඊර්ෂ්‍යා සහගත හැඟීම් පහළ වූ කල ද අදාළ වන්නේ එම නීතිය ම ය. පූජකයා, ස්වාමින්වහන්සේ ඉදිරියේ එම ස්ත්‍රිය සිටුවා, මෙම නීතිය මුළුමනින් ඇය කෙරේ ක්‍රියාත්මක කළ යුතු ය. මෙහිදී කවර වරදකින් වුව ද, සැමියා නිදොස් වෙයි. එහෙත් තම පාපයේ විපාකය ස්ත්‍රිය දරනු ඇතැ’ යි” පැවසූ සේක.

ගණන් 5 කියවන්න

ගණන් 5:11-31 සඳහා වීඩියෝව