ගණන් 4:21-49

ගණන් 4:21-49 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ගෙර්ෂොන් පුත්‍රයින් ද ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව ගණන් කරන්න. හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසෙන තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමින් ගණන් කරන්න. “මෙහෙ කිරීමෙහි හා බර උසුලාගෙන යෑමෙහි ගෙර්ෂොන්වරුන්ගේ පෙළපත්වල සේවය මෙසේයි. ඔවුන් උසුලාගෙන යා යුත්තේ, මණ්ඩපයේ හා හමුවීමේ කූඩාරමේ තිර ද උඩු වියන් වැස්ම හා තහෂ් හමින් කළ පිට වැස්ම ද හමුවීමේ මණ්ඩප දොරටු තිරය ද මණ්ඩපය හා පූජාසනය වටා වූ මළුවේ තිර ද මළුවේ දොරටු තිරය ද ලණු ද ඒවායේ කාර්යයනට අදාළ උපකරණ සියල්ල ද යනාදියයි. මේ දෑ සම්බන්ධ ව කළ යුතු වූ හැම කාරියක් ම ගෙර්ෂොන්වරුන් ඉටු කළ යුතු ය. මෙසේ උසුලාගෙන යෑමේ හෝ අන් කාරියක් කිරීමේ හෝ යන හැම සේවාවක් ම ඔවුන් කළ යුතු වන්නේ, ආරොන්ගේ හා ඔහුගේ පුතුන්ගේ අධීක්ෂණය යටතේ ය. ඔවුන් උසුලාගෙන යන සියලු දෑහි වගකීම ඔබ ඔවුනට පැවරිය යුතු ය. හමුවීමේ කූඩාරමේ ගෙර්ෂොන්වරුන්ගේ පුත්‍රයන්ගේ පෙළපත් සතු සේවය එයයි. ඔවුන්ගේ කාර්යයන් පූජක ආරොන්ගේ පුත් ඊතාමර්ගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු ය. “මෙරාරී පුත්‍රයන්ගේ ද ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව ගණන් කරන්න. හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසෙන තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමින් ගණන් කරන්න. හමුවීමේ කූඩාරමේ සේවය ඉටු කරද්දී, ඔවුන්ගේ කාර්යය මෙයයි: මණ්ඩපයේ ලෑලි, එහි හරස් පොලු, කණු හා පාද තල ඔසවාගෙන යෑමත්, කූඩාරම් මළුව වටා ඇති කණු සහ ඒවායේ පාද තල, කූඤ්ඤ, ලණු සහ ඒවායේ සියලු උපකරණ ද ඒවායේ කාර්යයනට අදාළ හැම දෙයක් ම ද උසුලාගෙන යෑමත් ය. එක් එක්කෙනා උසුලාගෙන යා යුතු නිශ්චිත භාණ්ඩ ඒ ඒ අයට නියම කරන්න. පූජක ආරොන්ගේ පුත් ඊතාමර්ගේ අධීක්ෂණය යටතේ හමුවීමේ කූඩාරම් සේවයේ මෙරාරී පුත්‍රයන්ගේ පෙළපත් සතු කාර්යය එය යැ” යි පැවසූ සේක. මෝසෙස් හා ආරොන් ද ප්‍රජා නායකයෝ ද කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගේ පෙළපත් හා පියවංශ අනුව ඔවුන් ගණන් කළහ. හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසි තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමි, ඔවුන්ගේ පෙළපත් අනුව දෙදහස් හත්සිය අසූදෙනෙක් ගණන් ගන්නා ලදහ. හමුවීමේ කූඩාරම් සේවයේ නියුතු කොහාත්වරුන්ගේ පෙළපත්වල සියල්ලන්ගේ මුළු ගණන එයයි. මෝසෙස් මගින් ලද ස්වාමින්වහන්සේගේ අණ පරිදි මෝසෙස් හා ආරොන් ඔවුන් ගණන් කළහ. ගෙර්ෂොන් පුත්‍රයෝ ද ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව ගණන් ගන්නා ලදහ. හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසි තිස්වන වියෙහි සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමි, ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව දෙදහස් හයසිය තිස්දෙනෙක් ගණන් ගන්නා ලදහ. හමුවීමේ කූඩාරම් සේවයෙහි නියුතු ගෙර්ෂොන් පුත්‍රයන්ගේ පෙළපත්වල සියල්ලන්ගේ මුළු ගණන එයයි. ස්වාමින්වහන්සේගේ අණ පරිදි මෝසෙස් හා ආරොන් ඔවුන් ගණන් කළහ. මෙරාරී පුත්‍රයන්ගේ පෙළපත් ද ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව ගණන් ගන්නා ලදහ. හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසි තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමි, ඔවුන්ගේ පෙළපත් අනුව තුන්දහස් දෙසීය දෙනෙක් ගණන් ගන්නා ලදහ. මෙරාරී පෙළපත්වල මුළු ගණන වූයේ එයයි. මෝසෙස් මගින් ලද ස්වාමින්වහන්සේගේ අණ පරිදි, මෝසෙස් හා ආරොන් ඔවුන් ගණන් කළහ. මෙසේ, මෝසෙස් හා ආරොන් ද ඉශ්‍රායෙල් නායකයෝ ද සියලු ලෙවීවරුන් ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව ගණන් කළහ. හමුවීමේ කූඩාරම් සේවයේ හා එය උසුලාගෙන යෑමේ කාර්යයන් සඳහා සුදුසු, තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ පිරිමි සියල්ලෝ අටදහස් පන්සිය අසූ දෙනෙකි. මෝසෙස් මගින් ලද ස්වාමින්වහන්සේගේ අණ පරිදි හැම කෙනකුට ම ඔහුගේ කාරිය පවරන ලද අතර උසුලාගෙන යා යුත්තේ කුමක් දැයි පවසන ලදී.

ගණන් 4 කියවන්න

ගණන් 4:21-49 සඳහා වීඩියෝව