ගණන් 4:1-20

ගණන් 4:1-20 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, “ලෙවී පුත්‍රයින් අතරින් කොහාත් පුත්‍රයින් ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව සංගණනයක් ගන්න. හමුවීමේ කූඩාරමේ කාර්යයන් සඳහා සේවයට පිවිසෙන තිස්වන වියේ සිට පනස් වන විය දක්වා වූ සියලු පිරිමින් ගණන් කරන්න. “හමුවීමේ කූඩාරමේ කොහාත් පුත්‍රයන්ගේ කාර්ය භාරය වන්නේ, අතිශුද්ධ දෑහි භාරකාරත්වයයි. කඳවුර ඉදිරියට යා යුතු වූ කල, ආරොන් ද ඔහුගේ පුතුන් ද කූඩාරම තුළට ගොස්, එහි වැසුම් තිරය ගලවා, එයින් සාක්ෂි කරඬුව වැසිය යුතු ය. ඉන්පසු තහෂ් හමින් එය වසා, ගන නිල් රෙද්දක් ඒ මත අතුරා, එය උසුලාගෙන යන පොලු සවි කළ යුතු ය. “ඉන්පසු ඔවුන් දේවාභිමුඛ රොටි මේසය මත නිල් රෙද්දක් අතුරා, ඒ මත පිඟන්, දීසි හා පාත්‍ර ද පාන පූජාවේ කෙණ්ඩි ද තැබිය යුතු ය. නිරන්තර ව ඒ මත තිබිය යුතු රොටි ද ඒ මත තැබිය යුතු ය. ඔවුන් ඒවා මත තද රතු රෙද්දක් අතුරා, ඉන්පසු තහෂ් හමින් එය වසා, මේසය උසුලාගෙන යන පොලු සවි කළ යුතු ය. “ඉන්පසු ඔවුන් නිල් රෙද්දක් ගෙන, එළිය පිණිස වූ පහන් රුක සමඟ එහි පහන් ද පහන් තිර මට්ටම් කතුරු හා තැටි ද පහන් දැල්වීමට ගන්නා තෙල් බඳුන් සියල්ල ද එම රෙද්දෙන් වැසිය යුතු ය. ඉන්පසු පහන් රුක හා එහි සියලු උපාංග ද තහෂ් හම් වැස්මක ඔතා, ඒවා උසුලාගෙන යන මැස්සේ තැබිය යුතු ය. “රන් පූජාසනය මත ඔවුන්, නිල් රෙද්දක් අතුරා, තහෂ් හමින් එය වසා, එය උසුලාගෙන යන පොලු සවි කළ යුතු ය. “ඔවුන් ශුද්ධස්ථානයේ තේවාවනට ගැනෙන උපකරණ සියල්ල ගෙන, නිල් රෙද්දකින් ඒවා ඔතා, තහෂ් හමින් එය වසා, ඒවා උසුලාගෙන යන මැස්සේ තැබිය යුතු ය. “ඔවුන් ලෝකඩ පූජාසනයෙන් අළු ඉවත් කොට, ඒ මත දම් පැහැ රෙද්දක් ඇතිරිය යුතු ය. ඉන්පසු ඔවුන් පූජාසනයේ තේවාවනට ගැනෙන දුම් කබල්, මස් කොකු, හැඳි හා ලේ ඉසින බඳුන් යන උපකරණ සියල්ල ඒ මත තැබිය යුතු ය. ඉන්පසු තහෂ් හම් වැස්මක් ඒ මත අතුරා, එය උසුලාගෙන යන පොලු සවි කළ යුතු ය. “මෙසේ ආරොන් හා ඔහුගේ පුතුන් ශුද්ධස්ථානයේ ශුද්ධ භාණ්ඩ හා ශුද්ධ උපකරණ සියල්ල වසා නිම කළ පසු, කඳවුර පිටත්වීමට සූදානම් වූ කල, කොහාත් පුත්‍රයින් එය ඔසවාගෙන යෑමට ආ යුතු ය. එහෙත් ඔවුන් ශුද්ධ දෑ ස්පර්ශ නො කළ යුතු ය. ස්පර්ශ කළොත් ඔවුන් මියෙනු ඇත. හමුවීමේ කූඩාරමේ එම භාණ්ඩ උසුලාගෙන යා යුත්තෝ කොහාත්වරු ය. “පූජක ආරොන්ගේ පුත් එලෙයාසර් පහන් සඳහා වූ තෙල් ද සුගන්ධ ද්‍රව්‍ය ද නිරන්තර ධාන්‍ය පූජාව ද ආලේප තෙල් ද යනාදියෙහි භාරකාරත්වය දැරිය යුතු ය. සමස්ත මණ්ඩපයෙහි හා ශුද්ධ භාණ්ඩ හා උපකරණ ඇතුළු එහි තුළ ඇති සියලු දෑහි භාරකාරත්වය ඔහු දැරිය යුතු ය” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, “කොහාත් ගෝත්‍ර වංශ පෙළපත් ලෙවීවරුන් අතරින් නැති වී නො යන ලෙසට වග බලා ගන්න. අතිශුද්ධ දෑ වෙත ඔවුන් ළඟා වන කල්හි, ඔවුන් නො නැසී ජීවත් වන පිණිස, ඔවුනට මෙසේ කරන්න. ආරොන් හා ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය තුළට ගොස්, එක් එක් කෙනාගේ කාරියත්, ඔහු උසුලාගෙන යා යුත්තේ කවරක් ද යන්නත් ඔහුට නියම කළ යුතු ය. එහෙත්, කොහාත්වරුන් ශුද්ධ දෑ බලන්නට එක් මොහොතකට පවා ඇතුළට නො ගිය යුතු ය; ගියහොත්, ඔවුන් මියෙනු ඇතැ” යි පැවසූ සේක.

ගණන් 4 කියවන්න

ගණන් 4:1-20 සඳහා වීඩියෝව