යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ මෝවබ් තැන්නේදී, ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල් ජනයාට හිමි වන උරුම පෙදෙසින්, ලෙවීවරුනට වාසය පිණිස නගර දෙන්නැයි ඉශ්‍රායෙල් ජනයාට අණ කරන්න. ඒ නගර අවට තණ බිම් ද ඔවුනට දෙන්න. එවිට වාසය පිණිස නගර ද ඔවුන්ගේ ගව, එළු, බැටළු රංචු සහ අනිකුත් සියලු පශු සම්පත් සඳහා තණ බිම් ද ඔවුනට ලැබෙනු ඇත.
“ලෙවීවරුනට ඔබ දෙන නගර වටා වූ තණ බිම්, නගර පවුරේ සිට රියන් දහසක් ඈතට විහිද ගිය යුතු ය. නගරය මැදිකොට, නගරයෙන් පිටතට නැගෙනහිර දෙසට රියන් දෙදහසක් ද දකුණු දෙසට රියන් දෙදහසක් ද බටහිරට රියන් දෙදහසක් ද උතුරු දෙසට රියන් දෙදහසක් ද මනින්න. එම පෙදෙස, නගරයේ තණ බිම් වශයෙන් ඔවුනට ලැබෙනු ඇත.
“ලෙවීවරුනට ඔබ දෙන නගරවලින් හයක්, අභය නගර වනු ඇත. යමකු මැරූ කෙනකුට සැඟවී, එහි පලා යා හැක. ඒ හැර ලෙවීවරුනට වෙනත් නගර හතළිස් දෙකක් ඔබ දිය යුතු ය. මෙසේ ඒවායේ තණ බිම් ද සහිත ව ලෙවීවරුනට ඔබ දිය යුතු මුළු නගර ගණන හතළිස් අටකි. ඉශ්‍රායෙල් ජනයා හිමි කර ගන්නා දේශයෙන් ලෙවීවරුනට ඔබ දෙන නගර දිය යුත්තේ, එක් එක් ගෝත්‍රයට උරුම කොටස්වලිනි. බොහොමයක් ඇති ගෝත්‍රයෙන් බොහොමයක් ද ස්වල්පයක් ඇති ගෝත්‍රයෙන් ස්වල්පයක් ද ගන්නැ” යි පැවසූ සේක.
ඉන්පසු මෝසෙස් ඇමතූ ස්වාමින්වහන්සේ, “ඉශ්‍රායෙල්වරුනට කතා කොට මෙසේ කියන්න: ‘ඔබ යොර්දානෙන් එතෙර ව, කානාන් දේශයට පිවිසි කල, ඔබට අභය නගර වන පිණිස නගර කිහිපයක් තෝරා ගන්න. ඒවා, අත්වැරැද්දකින් යමකු මැරූ කෙනකුට පලා යා හැකි වන පිණිස ය. මිනී මැරුමකට චෝදනා ලබන්නා, ප්‍රජා හමුව ඉදිරියේ විනිශ්චය කරනු ලබන්නට පෙර, නො නසින පිණිස, මිනී මැරුම් පළිය ගන්නා වෙතින් ආරක්ෂාව ලබන ස්ථාන ඒවා වනු ඇත. ඔබ දෙන මෙම නගර හය, ඔබේ අභය නගර වනු ඇත. නගර තුනක්, යොර්දානෙන් මෙහා පැත්තෙන් ද තුනක්, කානාන් දේශයෙන් ද අභය නගර වශයෙන් දෙන්න. මෙම නගර හය, ඉශ්‍රායෙල්වරුනට ද විදේශිකයිනට ද ඔබ අතරේ වෙසෙන අන් කවර ජනතාවකට ද අභය ස්ථාන වෙයි. අත්වැරැද්දකින් අනෙකකු මරන අයට එහි පලා යා හැකි ය.
“ ‘යමකු මැරෙන ලෙස යකඩ මෙවලමකින් පහර දෙන තැනැත්තා, මිනී මරුවෙකි; මිනී මරුවා, මරණයට පත් කළ යුතු ය. යමකු මරා දැමිය හැකි ගලක් අතැතිව සිටින කෙනකු එයින් ගසා, යමකු මරා දැමුවහොත්, ඔහු මිනී මරුවෙකි; මිනී මරුවා මරණයට පත් කළ යුතු ය. යමකු මරා දැමිය හැකි ලී උපකරණයක් අතැතිව සිටින කෙනකු එයින් ගසා, යමකු මරා දැමුවහොත් ඔහු මිනී මරුවෙකි; මිනී මරුවා, මරණයට පත් කළ යුතු ය. මිනී මරුවා මරා දැමිය යුත්තේ, ලේ පළිය ගන්නා තැනැත්තා ය. මිනී මරුවා ඔහුට හමු වූ විට මරා දමත්වා. යමකු මැරෙන ලෙස, යම් කෙනෙක් ද්වේෂ සහගත ව, සිතා මතා, ඒ අය තල්ලු කර දැමුවහොත් හෝ සිතා මතා යමකින් ඔහුට දමා ගැසුවහොත් හෝ ඔහු මැරෙන ලෙස එදිරිවාදීව මිට මොළවා, ඔහුට පහර දුන්නහොත් හෝ ඒ අය මරනු ලැබිය යුතු ය. ඔහු මිනී මරුවෙකි. ඔහු හමු වූ කල, ලේ පළිය ගන්නා, ඒ මිනී මරුවා මරා දමත්වා.
“ ‘එහෙත් එදිරිවාදිකමක් නැතිව යමෙක් ක්ෂණික ව අනෙකකු තල්ලු කර දැමීමෙන් හෝ නො සිතා නො බලා යමකින් දමා ගැසීමෙන් හෝ යමකු මරා දැමිය හැකි ගලක් නො දැක යමකු මත අත හැරීමෙන් කෙනකු මළහොත්, මළ අය ඔහුගේ සතුරකු නො වූ නිසාත්, ඔහුට අනතුරක් කිරීමේ අදහසක් නො වූ නිසාත් මිනී මරුවා හා ලේ පළිය ගන්නා අතර නඩුව, ප්‍රජා හමුව විසින් මේ නීති ප්‍රකාර විනිශ්චය කරනු ලැබිය යුතු ය. ප්‍රජා හමුව, ලේ පළිය ගන්නා වෙතින් මිනී මැරුම් චෝදනා ලැබ සිටින්නා ආරක්ෂා කොට, ඔහු පලා ගොස් තිබූ අභය නගරයට යළි ඔහු යැවිය යුතු ය. ශුද්ධ තෙලින් ආලේපිත උත්තම පූජකයා මියෙන තුරා, ඔහු එහි සිටිය යුතු ය.
“ ‘එහෙත් එම චූදිතයා, තමා පලා ගිය අභය නගර සීමාවෙන් පිටතට ගියහොත්, ලේ පළිය ගන්නාට නගර පිටතදී ඔහු හමු වුවහොත්, මිනීමැරීමක වරදකරුවකු නො වී චූදිතයා මරා දැමීමට ලේ පළිය ගන්නාට පුළුවන. උත්තම පූජකයාගේ මරණය තෙක් චූදිතයා තම අභය නගරය තුළ සිටිය යුතු ය. තම ගේ-දොර වෙත ඔහුට ආපසු ආ හැක්කේ උත්තම පූජකයාගේ මරණින් පසු පමණි.
“ ‘ඔබ කොතැනක වෙසෙතත්, මතු පරම්පරා මුළුල්ලෙහි ම මේවා ඔබට නීතිමය නියමයන් විය යුතු ය.
“ ‘යමකු මරා දැමූ කෙනකු, මිනී මරුවකු වශයෙන් මරණයට පත් කළ හැක්කේ, සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මත පමණි. එහෙත් එක් සාක්ෂිකරුවකුගේ සාක්ෂිය මත පමණක් කිසිවකු හෝ මරණයට පත් කළ යුතු නැත.
“ ‘මරණීය දණ්ඩනයට නියමවූවකුගේ ජීවිතය ඉන් මිදීම සඳහා වන්දියක් බාර නො ගන්න. ඔහු මරණයට පත් කළ යුතු ම ය.
“ ‘අභය නගරයක් වෙත පලා ගිය කිසිවකුටත්, උත්තම පූජකයාගේ මරණයට කලින් ආපසු පැමිණ, තම ඉඩකඩම්හි වාසය කිරීමට ඉඩ සැලසෙන සේ, වන්දියක් බාරගැනීම නො කරන්න.
“ ‘ඔබ වෙසෙන දේශය දූෂ්‍ය නො කරන්න. ලේ හැලීමෙන් දේශය දූෂ්‍ය වේ. අනෙකකුගේ ලේ හැලූ පුද්ගලයාගේ ම ලෙයින් මිස, ලේ හැලුණු බිමේ ශෝධනය සඳහා පාප වන්දි නිවාරණයක් ඉටු කළ නො හැක. ඔබ වෙසෙන, මා ද වෙසෙන දේශය දූෂ්‍ය නො කරන්න. මන්ද ස්වාමින්වහන්සේ වන මම ඉශ්‍රායෙල්වරුන් අතරේ වාසය කරන්නෙමි’ යි” පැවසූ සේක.