ගණන් 29:12-40

ගණන් 29:12-40 SCV

“ ‘හත් වන මස පහළොස් වන දින ශුද්ධ එකමුතුවක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. දවස් හතක් ස්වාමින්වහන්සේට උත්සව පවත්වන්න. ගව වස්සන් දහතුන් දෙනකුගෙන් ද බැටළුවන් දෙදෙනකුගෙන් හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකුගෙන් ද යුතු කැළැල් රහිත සතුන්ගෙන් දවන යාග පූජාවක් කොට ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් වන ගින්නෙන් යාග කරන පූජාවක් පිළිගන්වන්න. ඒ සමඟ පිළියෙල කළ යුතු තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් යුත් ධාන්‍ය පූජාව, ගොන් වස්සන් දහතුන්දෙනාට, එකකුට ඒෆාවකින් දහයෙන් තුන් කොටසක් බැගිනි. බැටළුවන් දෙදෙනාට, එකකුට දහයෙන් දෙකොටසක් බැගිනි. බැටළු පැටවුන් දාහතර දෙනාට, එකකුට දහයෙන් එක් කොටස බැගිනි. නිරන්තර දවන යාග පූජාවටත්, එහි ධාන්‍ය පූජාවටත්, පාන පූජාවටත් අමතරව, පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘දෙවන දවසේ, ගව වස්සන් දොළොස් දෙනකු ද බැටළුවන් දෙදෙනකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. එම ගවයින්, බැටළුවන් හා බැටළු පැටවුන් සමඟ ඒවාට අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාව හා එහි ධාන්‍ය පූජාවට ද පාන පූජාවනට ද අමතරව, පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘තුන් වන දවසේ ගවයින් එකොළොස්දෙනකු ද බැටළුවන් දෙදෙනකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. එම ගවයින්, බැටළුවන් හා බැටළු පැටවුන් සමඟ ඒවාට අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාවට හා එහි ධාන්‍ය පූජාවට ද පාන පූජාවට ද අමතරව, පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘සිවු වන දවසේ ගවයින් දහ දෙනකු ද බැටළුවන් දෙදෙනකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. එම ගවයින්, බැටළුවන් හා බැටළු පැටවුන් සමඟ ඒවාට අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාවටත්, එහි ධාන්‍ය පූජාවටත් පාන පූජාවටත් අමතරව, පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘පස් වන දවසේ ගවයින් නවදෙනකු ද බැටළුවන් දෙදෙනකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. එම ගවයින්, බැටළුවන් හා බැටළු පැටවුන් සමඟ අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාවට හා එහි ධාන්‍ය පූජාවට ද පාන පූජාවට ද අමතරව පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘හය වැනි දවසේ ගවයින් අටදෙනකු ද බැටළුවන් දෙදෙනකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. එම ගවයින්, බැටළුවන් හා බැටළු පැටවුන් සමඟ අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාවට හා එහි ධාන්‍ය පූජාවට ද පාන පූජාවනට ද අමතරව පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘හත් වන දවසේ ගවයින් හත්දෙනකු ද බැටළුවන් දෙදෙනකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දාහතර දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. එම ගවයින්, බැටළුවන් හා බැටළු පැටවුන් සමඟ අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාවට හා එහි ධාන්‍ය පූජාවට ද පාන පූජාවට ද අමතරව පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘අ‍ට වන දවසේ ශුද්ධ එකමුතුවක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. ගවයකුගෙන් ද බැටළුවකුගෙන් ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් හත් දෙනකුගෙන් ද යුතු කැළැල් රහිත සතුන් දවන යාග පූජාවක් කොට, ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් වන ගින්නෙන් යාග කරන පූජාවක් පිළිගන්වන්න. එම ගවයා ද බැටළුවා ද බැටළු පැටවුන් ද සමඟ උන්ට අදාළ ධාන්‍ය පූජා හා පාන පූජා නියමිත ප්‍රමාණයට අනුකූලව පිළියෙල කරන්න. නිරන්තර දවන යාග පූජාවට හා එහි ධාන්‍ය පූජාවට ද පාන පූජාවට ද අමතරව පාප පූජාවක් සඳහා එළුවකු ද ඇතුළත් කරන්න. “ ‘ඔබගේ බාර-හාර හා ස්වේච්ඡා පූජාවනට අමතරව, ඔබේ නියමිත මංගල්‍යයන්හි ඔබේ දවන යාග පූජා ද ධාන්‍ය පූජා ද පාන පූජා ද ශාන්ති පූජා ද යන මේවා ස්වාමින්වහන්සේට පිළිගන්වන්නැ’ යි” පැවසූ සේක. ස්වාමින්වහන්සේ තමාට අණ කළ සියල්ල, මෝසෙස් ඉශ්‍රායෙල් ජනතාවට පැවසී ය.