ගණන් 29:1-11

ගණන් 29:1-11 SCV

“ ‘හත් වන මස පළමු දින ශුද්ධ එකමුතුවක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. එය ඔබට හොරණෑ හැඬවීමේ දවසකි. ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් වන දවන පූජාවක් කොට ගව වස්සකු ද බැටළුවකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් හත්දෙනකු ද යන නො කැළැල් සතුන් පිළියෙල කරන්න. ඒ සමඟ පිළියෙල කළ යුතු ධාන්‍ය පූජාව, තෙල් මිශ්‍ර සිහින් පිටියෙනි. එයින්, ගොන් වස්සා සමඟ ඒෆාවකින් දහයෙන් තුන් කොටසකි. බැටළුවා සමඟ දහයෙන් දෙකොටසකි. එක් එක් බැටළු පැටවා සමඟ දහයෙන් එක් කොටසකි. ඔබ උදෙසා පාප වන්දි නිවාරණය සඳහා පාප පූජාවක් වශයෙන් එළුවකු ද ඇතුළත් කරන්න. මෙම පූජා, මාස් පතා හා දවස්පතා නියමිත දවන යාග පූජා හා ඒවාට අදාළ ධාන්‍ය පූජා හා පාන පූජාවලට අමතරව ය. මේවා ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට ගින්නෙන් යාග කරන පූජා වෙයි. “ ‘මෙම හත් වන මස දහ වන දින ශුද්ධ එකමුතුවක් පවත්වන්න. එදින ඔබ නිරාහාරශීල රැකිය යුතු ය. සුපුරුදු වැඩවල නො යෙදිය යුතු ය. ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් වන දවන යාග පූජාවක් කොට, ගව වස්සකු ද බැටළුවකු ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් හත්දෙනකු ද යන කැළැල් රහිත සතුන් පිළියෙල කරන්න. ඒ සමඟ පිළියෙල කළ යුතු ධාන්‍ය පූජාව, තෙල් මිශ්‍ර සිහින් පිටි ය. එයින් ගව වස්සා සමඟ ඒෆාවකින් දහයෙන් තුන් කොටසකි. බැටළුවා සමඟ දහයෙන් දෙකොටසකි. එක් එක් බැටළු පැටවා සමඟ දහයෙන් එක් කොටසකි. පාප වන්දි නිවාරණ පාප පූජාවට, නිරන්තර දවන යාග පූජාවට හා එහි ධාන්‍ය පූජාවට ද ඒවායේ පාන පූජාවලට ද අමතරව, පාප පූජාවක් සඳහා එළුවකු ද ඊට ඇතුළත් කරන්න.