ගණන් 28

28
දිනපතා පූජා
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“මෙම ආඥාව දෙමින් ඉශ්‍රායෙල් ජනයා අමතා, ‘මට ප්‍රසන්න සුවඳක් වශයෙන්, ගින්නෙන් දවා පුදන මගේ පූජා සඳහා වන ආහාර, නියමිත කාලයේදී මට පිළිගන්වන්නට වග බලා ගන්නැ’ යි කියන්න. 3ඔවුනට මෙසේ කියන්න: ‘ගින්නෙන් දවා, ස්වාමින්වහන්සේට ඔබ පිදිය යුතු පූජාව නම්, දිනපතා නිරන්තර දවන යාග පූජාවක් වශයෙන් වූ එක් අවුරුදු නො කැළැල් බැටළු පැටවුන් දෙදෙනෙකි. 4ඉන් එකකු උදයේ ද අනෙකා සවස ද පූජා කළ යුත්තේ, 5හිනකින් හතරෙන් එකක් කොටා-සිඳගත් ඔලීව තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ඒෆාවකින් දසයෙන් කොටසක ධාන්‍ය පූජාවක් ද සමඟිනි. 6ගින්නෙන් දවා, ස්වාමින්වහන්සේට පුදන ප්‍රසන්න සුවඳක් වශයෙන් සීනයි කන්දේදී ස්ථාපිත නිරන්තර දවන යාග පූජාව එයයි. 7ඒ සමඟ පිදෙන පාන පූජාව එක් එක් බැටළු පැටවා සඳහා හිනකින් හතරෙන් එකකි. ස්වාමින්වහන්සේට සැර මිදි යුෂ පාන පූජාව, ශුද්ධස්ථානයෙහි වගුරු වන්න. 8අනෙක් බැටළු පැටවා ද සවස සූදානම් කොට, උදෑසන පිළියෙල කළ ආකාරයේ ම ධාන්‍ය පූජාවක් හා පාන පූජාවක් සමඟ ඔප්පු කරන්න. එය ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් ලෙස ගින්නෙන් යාග කරන පූජාවකි.
සබත් දවසේ පූජා
9“ ‘සබත් දවසේ එක් අවුරුදු නො කැළැල් බැටළු පැටවුන් දෙදෙනකු සමඟ එහි පාන පූජාව ද තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් දෙකොටසක ධාන්‍ය පූජාවක් ද ඔප්පු කරන්න. 10නිරන්තර දවන යාග පූජාවට හා එහි පාන පූජාවට අමතරව සෑම සබතක් සඳහා ම වූ දවන යාග පූජාව මෙයයි.
මාසික පූජා
11“ ‘හැම මසක ම මුල් දිනයේ ගව වස්සන් දෙදෙනකු ද බැටළුවකු ද එක් අවුරුදු නො කැළැල් බැටළු පැටවුන් හත්දෙනකු ද යන වශයෙන් ස්වාමින්වහන්සේට දවන යාග පූජාවක් පිළිගන්වන්න. 12එක් එක් ගවයා සමඟ තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් තුන් කොටසක ධාන්‍ය පූජාවක් ද බැටළුවා සමඟ තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් දෙකොටසක ධාන්‍ය පූජාවක් ද 13එක් එක් බැටළු පැටවා සමඟ තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් එක් කොටසක ධාන්‍ය පූජාවක් ද ඔප්පු කළ යුතු ය. එය ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් ලෙස ගින්නෙන් යාග කරන ලද දවන යාග පූජාව සඳහා ය. 14පාන පූජාව, එක් ගවයකු සමඟ මිදි යුෂ හිනකින් භාගයකි. බැටළුවකු සමඟ මිදි යුෂ හිනකින් තුනෙන් එකකි. බැටළු පැටවකු සමඟ මිදි යුෂ හිනකින් හතරෙන් එකකි. අවුරුද්දේ එක් එක් නව සඳ උදාවේදී, මාස් පතා පිදිය යුතු දවන යාග පූජාව මෙයයි. 15අදාළ පාන පූජාව සමඟ වන නිරන්තර දවන යාග පූජාවට අමතරව, එළුවකු ද පාප පූජාවක් වශයෙන් ස්වාමින්වහන්සේට පිළිගැන්විය යුතු ය.
පාස්කු පූජා
16“ ‘පළමු මස දහහතර වන දින ස්වාමින්වහන්සේගේ පාස්කුව පැවැත් විය යුතු ය. 17එම මස පහළොස් වන දින මංගල්‍යයක් පැවැත් විය යුතු ය. මුහුන් නුමුසු රොටි, හත් දවසක් අනුභව කළ යුතු ය. 18පළමු දවසේ ශුද්ධ එකමුතුවක් පවත්වන්න; සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. 19ගවයින් දෙදෙනකුගෙන් ද බැටළුවකුගෙන් හා එක් අවුරුදු නො කැළැල් බැටළු පැටවුන් හත් දෙනකුගෙන් ද යුත් ගිනි පූජාවක් ලෙස යාග පූජාවක් ස්වාමින්වහන්සේට පූජා කරන්න. 20ඒ සමඟ පිළියෙල කළ යුතු ධාන්‍ය පූජාව, එක් එක් ගවයා සමඟ තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් තුන් කොටසකි. බැටළුවා සමඟ ඒෆාවකින් දහයෙන් දෙකොටසකි. 21බැටළු පැටවුන්ගෙන් එක් එක් පැටවා සමඟ ඒෆාවකින් දහයෙන් එක් කොටසකි. 22ඔබ උදෙසා පාප වන්දි නිවාරණය සඳහා පාප පූජාවක් වශයෙන් එළුවකු ද පූජා කරන්න. 23මේවා පිළියෙල කළ යුත්තේ උදෑසන නිරන්තර දවන යාග පූජාවට අමතරව ය. 24මේ අයුරින්, දිනපතා ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට, ගින්නෙන් යාග කරන ආහාර පූජාවේ ආහාරය, හත් දවසක් පිළිගන්වන්න. මේවා පිළිගැන්විය යුත්තේ, නිරන්තර දවන යාග පූජාවට හා එහි පාන පූජාවට අමතරව ය. 25හත් වන දවසේ ශුද්ධ එක් රැස්වීමක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය.
සති මංගල්‍ය පූජා
26“ ‘සති මංගල්‍යයේදී ඔබ, ස්වාමින්වහන්සේට අලුත් ධාන්‍ය ඔප්පු කරන ප්‍රථම පල දවසේ ශුද්ධ එක් රැස්වීමක් පවත්වන්න. සුපුරුදු වැඩවල ඔබ නො යෙදිය යුතු ය. 27ස්වාමින්වහන්සේට ප්‍රසන්න සුවඳක් කොට, ගවයින් දෙදෙනකුගෙන් ද එක් බැටළුවකු සහ එක් අවුරුදු බැටළු පැටවුන් හත් දෙනකුගෙන් ද යුතු දවන යාග පූජාවක් පිළිගන්වන්න. 28එක් එක් ගවයා සමඟ ඔප්පු කළ යුතු ධාන්‍ය පූජාව නම්, තෙල් මිශ්‍ර කරන ලද සිහින් පිටි ඒෆාවකින් දහයෙන් තුන් කොටසක් ද බැටළුවා සමඟ පිටි ඒෆාවකින් දහයෙන් දෙකොටසක් ද 29එක් එක් බැටළු පැටවා සමඟ පිටි ඒෆාවකින් දහයෙන් කොටසක් ද යන වශයෙනි. 30ඔබ උදෙසා පාප වන්දි නිවාරණය සඳහා පාප පූජාවක් වශයෙන්, එළුවකු ද පූජා කරන්න. 31අදාළ ධාන්‍ය පූජාව හා සමඟ නිරන්තර දවන යාග පූජාවට එම පූජා පිළිගැන්විය යුත්තේ, ඒවායේ පාන පූජා ද සමඟිනි. උන් නිකළැල් සතුන් වන බවට වග බලා ගන්න.

දැනට තෝරාගෙන ඇත:

ගණන් 28: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න