ගණන් 25:10-18
ගණන් 25:10-18 SCV
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පූජක ආරොන්ගේ පුත්‍ර එලෙයාසර්ගේ පුත් පීනෙහාස්, මගේ උදහස ඉශ්‍රායෙල් ජනයා වෙතින් ඉවත හැරවී ය. මගේ උද්වේගයෙන් මා ඔවුන් වනසා නො දමන ලෙසට, ඔවුන් අතරේ මගේ ගෞරවය උදෙසා මා මෙන් ම ඔහුත් උද්යෝගී විය. එබැවින් මගේ සාම ගිවිසුම මා ඔහු සමඟ පිහිටු වන වග ඔහුට කියන්න. ඔහු තමාගේ දෙවියන්වහන්සේගේ ගෞරවය උදෙසා, උද්යෝගිමත් වූ බැවින් හා ඉශ්‍රායෙල් ජනයා උදෙසා පාප වන්දි නිවාරණයක් ඉටු කළ බැවින්, ඔහු ද ඔහුගෙන් පැවත එන්නන් ද සදාතනික පූජකත්වයේ ගිවිසුමක් ලබනු ඇතැ” යි පැවසූ සේක. මිදියන් කත සමඟ මරා දමන ලද ඉශ්‍රායෙල් මිනිසාගේ නම සිම්රී ය. සාලූගේ පුත්‍රයා වූ ඔහු සිමියොන් ගෝත්‍රික පෙළපතක නායකයා ව සිටියේ ය. මරා දමන ලද මිදියන් කතගේ නම කොස්බී ය. ඈ මිදියන් පෙළපතක ගෝත්‍ර නායකයකු වූ සූර්ගේ දියණිය වූවා ය. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මිදියන්වරුන් සතුරන් සේ සලකා පහර දෙන්න. මන්ද පෙයෝර්හි සිද්ධියේ ද පෙයෝර් හේතුවෙන් වසංගත දවස පැමිණි කල, මිදියන් නායකයාගේ මරා දමන ලද දියණිය හෙවත් ඔවුන්ගේ සහෝදරිය වන කොස්බී හා සම්බන්ධ සිද්ධියේදී ද ඔවුන් ඔබ රැවටීමෙන්, ඔබ සතුරන් සේ ඔවුන් සැලකූ බැවිනි” යි පැවසූ සේක.

