ගණන් 23:13-30
ගණන් 23:13-30 SCV
ඉන්පසු බාලාක් ඔහු අමතමින්, “වෙනත් තැනකට මා සමඟ එන්න; එහිදී ඔබට ඔවුන් දැකිය හැකියි. ඔවුන් සැවොම නො ව, ඔවුන්ගෙන් කොටසක් දැකිය හැකියි. එහි සිට මා වෙනුවෙන් ඔවුනට ශාප කරන්නැ” යි කීවේ ය. මෙසේ ඔහු පිස්ගා කඳු මුඳුනේ වූ සොෆීම් පිට්ටනියට බාලාම් කැඳවාගෙන ගොස්, පුදසුන් හතක් එහි තනා, ඒ එක් එක් පුදසුන මත ගවයකු හා බැටළුවකු බැගින් ඔප්පු කළේ ය. ඉන්පසු බාලාක් ඇමතූ බාලාම්, “මා ඔබ්බට ගොස්, ස්වාමින්වහන්සේ හමුවන අතරේ ඔබ මෙහි ඔබේ පූජාව පසෙකින් සිටින්නැ” යි කීවේ ය. එවිට බාලාම් හමු වූ ස්වාමින්වහන්සේ, ඔහුගේ මුවෙහි වචනයක් තැබූ සේක්, “බාලාක් වෙත ආපසු ගොස්, ඔබ ඔහුට කිව යුත්තේ මෙය යැ” යි කී සේක. එබැවින් ඔහු බාලාක් වෙත ආපසු ගියේ ය. මෙන්න! බාලාක් තම පූජාව පසෙක සිටගෙන සිටියේ ය. මෝවබ් ප්රභූහු, ඔහු සමඟ වූහ. “ස්වාමින්වහන්සේ කුමක් කී සේක් දැ?” යි බාලාක් ඇසී ය. එවිට බාලාම් තම කියමන ප්‍රකාශ කරන්නට වන්නේ ය: “නැගිටිනු, බාලාක් මේ අසනු. සිප්පෝර්ගේ පුත්‍රය, මට සවන් දෙනු. බොරු කියන්නට දෙවියන්වහන්සේ මිනිසකු නො වේ. අදහස වෙනස් කර ගන්නට උන්වහන්සේ මිනිස්-පුතකු ද නො වේ. උන්වහන්සේ කියන දේ නො කරන සේක් ද? පොරොන්දු වන දේ, ඉටු නො කරන සේක් ද? ඔන්න! ආශිර්වාද කරන්නට මට අණක් ලැබී ඇත: උන්වහන්සේ ආශිර්වාද කර ඇත. මට එය වෙනස් කරන්නට බැරි ය. “කිසි දුර්-භාග්‍යයක්, යාකොබ් තුළ දකින්නට නැත. කිසි දුඃඛිතකමක්, ඉශ්රායෙල් වෙත පෙනෙන්නට නැත. ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ වෙති. රාජකීය ඔල්වර හඬ ඔවුන් අතරේ ඇත. ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආවේ දෙවියන්වහන්සේ ය. කුළු හරකකුගේ ශක්තිය ඔවුනට ඇත්තේ ය. යාකොබ් පෙළපතට එරෙහිව කිසි අනවිනයක් නැත. ඉශ්රායෙල් ජනයාට එරෙහිව කිසි පේන කීමක් නැත. යාකොබ් පෙළපත් ගැන, ඉශ්රායෙල් ජනයා ගැන, දැන් කියනු ලබන්නේ, ‘බලන්න! දෙවියන්වහන්සේ කර ඇති දේ!’ යනුවෙනි. මෙන්න! සිංහ දෙනක සේ නැගී සිටින ජනතාවක්; තම දඩයම කා දමන තුරු, තම ගොදුරෙහි ලේ ටික බොන තුරු, වැතිර නො ගන්න සිංහයකු සේ මොවුහු තමන් ම පුබුදුවා ගනිති.” එවිට බාලාක්, “ඔවුන්ට කොහෙත් ම ශාපවත්, කොහෙත් ම ආශිර්වාදවත් නො කරනු” යි බාලාම්ට කීවේ ය. බාලාම් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ පවසන කවරක් වුව ද, මා කළ යුතු වග මම ඔබට නො කීවෙම් දැ?” යි කීවේ ය. ඉන්පසු බාලාක්, බාලාම් අමතමින්, “එන්න, මම වෙනත් තැනකට ඔබ ගෙන යන්නම්. එහි සිට, මා වෙනුවෙන් ඔවුනට ශාප කරන්නට ඇතැම් විට දෙවියන්වහන්සේ කැමති වනු ඇතැ” යි කීවේ ය. මෙසේ බාලාක්, පාළුකරය පෙනෙන පෙයෝර් කඳු මුඳුනට බාලාම් කැඳවාගෙන ගියේ ය. “මට මෙහි පුදසුන් හතක් තනන්න. ගවයින් හත් දෙනෙක් හා බැටළුවන් හත් දෙනෙක් මට සූදානම් කරන්නැ” යි බාලාම් කී ය. බාලාම් පවසා තිබූ පරිදි කළ බාලාක්, එක් එක් පුදසුන මත ගවයකු හා බැටළුවකු බැගින් ඔප්පු කළේ ය.

