ගණන් 23:1-12

ගණන් 23:1-12 SCV

ඉන්පසු බාලාම්, බාලාක්ට කතා කොට, “මට මෙහි පුදසුන් හතක් තනන්න. ගවයින් හත් දෙනෙක් හා බැටළුවන් හත් දෙනෙක් මට සූදානම් කර දෙන්නැ” යි කීවේ ය. බාලාම් කී ලෙස බාලාක් කළ පසු, ඔවුන් දෙදෙන එක් එක් පුදසුන මත ගවයකු හා බැටළුවකු බැගින් ඔප්පු කළෝ ය. ඉන්පසු බාලාක් ඇමතූ බාලාම්, “මා ඔබ්බට යන අතරේ ඔබ, ඔබේ යාගය පසෙකින් සිටින්න. ඇතැම් විට ස්වාමින්වහන්සේ මා හමුවට ඒවි. උන්වහන්සේ මට හෙළි කරන කවරක් වුව, මම ඔබට කියන්නෙමි” යි කීවේ ය. ඉන්පසු ඔහු, පාළු උස් තැනකට ගියේ ය. එහිදී දෙවියන්වහන්සේ බාලාම්ට හමු විණි. “මම පුදසුන් හතක් සූදානම් කර, ඒ එක් එක් පුදසුන මත ගවයකු හා බැටළුවකු බැගින් ඔප්පු කළෙමි” යි බාලාම් කීවේ ය. එවිට බාලාම්ගේ මුවෙහි වචනය තැබූ ස්වාමින්වහන්සේ, “බාලාක් වෙත ගොස්, ඔහුට ඔබ කිව යුත්තේ මෙය යැ” යි පැවසූ සේක. එබැවින් ඔහු බාලාක් වෙත ආපසු ගියේ ය. මෝවබ් ප්‍රභූන් සියල්ලන් සමඟ මෙන්න! බාලාක් තම පූජාව පසෙක සිටගෙන සිටියේ ය. එවිට බාලාම් තම කියමන ප්‍රකාශ කරන්නට වන්නේ ය: “මෝවබ්හි රජු බාලාක්, අරාම්හි සිට මා ගෙන්වී ය; පෙරදිග කඳුකරයෙන් මා ගෙන්වී ය. ‘එන්න; මා වෙනුවෙන් යාකොබ්ට ශාප කරන්න; එන්න, ඉශ්‍රායෙල් ජනතාව හෙළා දකින්නැ’ යි ඔහු කීවේ ය. දෙවියන්වහන්සේ ශාප නො කළ අයට ශාප කරන්නට මට හැකිදෝ? ස්වාමින්වහන්සේ හෙළා දුටුවේ නැති අය හෙළා දකින්නට මට හැකිදෝ? ගිරි මුඳුන්හි සිට ඔවුන් මට පෙනේ. උස් තැන්හි සිට මම ඔවුන් දෙස බලමි. ජාතීන් අතරට තුමූම නො ගැනෙන, වෙන් වී වෙසෙන ජනතාවක් මට පෙනේ. යාකොබ්ගේ දූලි ගැණිය හැක්කේ කවරකුට ද? නැතහොත්, ඉශ්‍රායෙල් ජනයාගෙන් හතරෙන් කොටසක් ගැණිය හැක්කේ කවරකුට ද? මගේ මරණය, ධර්මිෂ්ඨයින්ගේ මරණය මෙන් වේවා. මගේ අවසානය, ඔවුන්ගේ මෙන් වේවා!” එවිට බාලාක්, බාලාම් අමතමින්, “මොකක් ද නුඹ මට මේ කළේ? මා නුඹ ගෙන්වූයේ, මගේ සතුරනට ශාප කරන්නටයි. එහෙත් නුඹ කළේ ඔවුන්ට ආශිර්වාද කිරීම යැ” යි කීවේ ය. “ස්වාමින්වහන්සේ මගේ මුවෙහි තබන දේ මා පැවසිය යුතු නො වේ දැ?” යි බාලාම් පිළිතුරු දුන්නේ ය.