උදෑසන පිබිදුණු බාලාම් තම බූරුවා සූදානම් කර, මෝවබ් ප්‍රභූන් සමඟ පිටත් ව ගියේ ය. ඔහුගේ යෑම ගැන, දෙවියන්වහන්සේ බොහෝ සේ උරණ වූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා, ඔහුට එරෙහිව සිටිමින්, පාරේ සිට ගත්තේ ය. බාලාම් ගියේ තම බූරු දෙන පිටේ ය. ඔහුගේ සේවකයින් දෙදෙනෙක් ද ඔහු සමඟ වූහ. ස්වාමින්වහන්සේගේ දූතයා ඇදගත් කඩුවක් අතැතිව, පාරේ සිටගෙන සිටිනු දුටු බූරු දෙන, පාරෙන් ඉවතට කෙතට හැරිණි. යළි ඌ පාරට ගන්නට බාලාම් ඌට තැළී ය.
එවිට ස්වාමින්වහන්සේගේ දූතයා, මිදි වතු දෙකක් අතරේ දෙපසින් ම තාප්ප සහිත පටු මාවතක සිට ගත්තේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා දුටු බූරු දෙන, තාප්පයට ළං වී ඊට තද වූයෙන්, බාලාම්ගේ කකුල තැළුණේ ය. එබැවින් ඔහු යළි ඌට තැළී ය.
ඉන්පසු ස්වාමින්වහන්සේගේ දූතයා ඉන් මදක් ඔබ්බට ගොස්, වමට හෝ දකුණට හෝ හැරෙන්නට ඉඩක් නැති පටු තැනක සිට ගත්තේ ය. මෙවර ස්වාමින්වහන්සේගේ දූතයා දුටු බූරු දෙන, බාලාම් ඌ පිට සිටියදී ම, බිම වැතිරුණා ය. ඉන් කෝපයට පත් ඔහු, තම කෙවිටෙන් ඌට පහර දුන්නේ ය. එවිට ස්වාමින්වහන්සේ බූරුදෙනට කතා කරන්නට සැලැස් වූයෙන්, බාලාම් ඇමතූ ඌ, “මේ තුන් වතාවේ ම මට තලන්නට මා ඔබට කුමක් ද කළේ?” යි ඇසී ය.
“නුඹ මා විහිළුවකට බාර ගත් නිසයි! මා අත කඩුවක් තිබුණා නම් මෙලහකටත් මා නුඹ මරා දමලා” යි බාලාම් බූරුදෙනට පැවසී ය.
බූරු දෙන, බාලාම් අමතමින්, “අද දවස දක්වා මුළු ජීවිත කාලයේ ම ඔබ නැගී ගිය බූරු දෙන මා නො වේ ද? කිසි දිනෙකත් ඔබට මෙසේ කරන්නට මා පුරුදු ව සිටියා දැ?” යි ඇසී ය.
“නැතැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
එවිට ස්වාමින්වහන්සේ බාලාම්ගේ ඇස් විවර කළෙන්, ස්වාමින්වහන්සේගේ දූතයා ඇදගත් කඩුව ද අතැතිව, මාර්ගයේ සිටිනු ඔහු දැක්කේ ය. එවිට බාලාම් පහතට හිස නවා, මුණින් තලා වැටුණේ ය.
ස්වාමින්වහන්සේගේ දූතයා ඔහු අමතමින්, “මේ තුන් වතාවේ ම නුඹ, නුඹේ බූරුදෙනට පහර දුන්නේ මන්ද? නුඹට එරෙහි වන්නට මා මෙහි ආවේ නුඹේ ගමන් මග මා ඉදිරියේ නො සැලකිලිමත් ව ඇති නිසයි. බූරු දෙන මේ තුන් වතාවේ ම මා දැක ඉවත හැරුණා. එසේ ඌ ඉවත හැරුණේ නැති නම් මේ වන විට ඌ ඉතිරි කරමින්, සත්තකින් ම මා නුඹ මරා දමන්නට තිබුණා” යි පැවසී ය.
බාලාම්, ස්වාමින්වහන්සේගේ දූතයාට පිළිතුරු දෙමින්, “මම පව් කළෙමි. මා මුණගැසීමට ඔබ පාරේ සිටගෙන හුන් වග මා දැන සිටියේ නෑ. ඉතින් එය ඇස් ඉදිරියේ නපුරු නම් මා ආපසු යනවා” යි කීවේ ය.
“මේ මිනිසුන් සමඟ යනු; එහෙත් මා ඔබට පවසන දෑ පමණක් කියනු” යි ස්වාමින්වහන්සේගේ දූතයා බාලාම්ට පැවසී ය. එබැවින් බාලාම්, බාලාක්ගේ ප්‍රභූන් සමඟ ගියේ ය.
බාලාම් එන වග ඇසූ බාලාක්, ඔහු හමුවන පිණිස තම රාජධානිය කෙළවරේ අර්ණොන් සීමාවෙහි වූ මෝවබ්වරුන්ගේ නගරය වෙත ගියේ ය. මෙසේ බාලාම් ඇමතූ බාලාක්, “ඔබ කැඳවමින්, මම හදිසි පණිවුඩ නෑරියෙම් ද? ඔබ මා වෙත නාවේ මන්ද? ඔබ ගෞරවයට පමුණු වන්නට මා අපොහොසත් වෙතැයි ඔබ සිතනවා දැ?” යි ඇසී ය.
බාලාම් පිළිතුරු දෙමින්, “මෙන්න! දැන් මා ඔබ වෙත ඇවිදින්; එහෙත් කිසිවක් හෝ කීමට මට හැකි වේ ද? මට කිය හැක්කේ දෙවියන්වහන්සේ මගේ මුවෙහි තබන දෑ පමණි” යි කීවේ ය.
ඉන්පසු බාලාම්, බාලාක් සමඟ කිරියත්-හුසෝත් වෙත ගියේ ය. බාලාක්, ගවයින් හා බැටළුවන් යාග කළේ ය. ඔහු එම සත්ව යාගයෙන් කොටසක් බාලාම්ට ද ඔහු සමඟ වූ ප්‍රභූන්ට ද දුන්නේ ය. බාලාක් පසු දා උදෑසන බාලාම් කැඳවාගෙන, බාමොත්-බාල් කන්දට නැගුණේ ය. එහිදී ඉශ්‍රායෙල් ජනතාවගෙන් කොටසක් ඔහු දුටුවේ ය.