ඉන්පසු මෝවබ් තැනිතලා වෙත ගමන් ගත් ඉශ්‍රායෙල්වරු යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ කඳවුරු ගැසූහ.
ඉශ්‍රායෙල්වරුන් අමෝරිවරුන්ට කර තිබූ සියලු දෑ සිප්පෝර්ගේ පුත් බාලාක් දැක්කේ ය. ඉශ්‍රායෙල් ජනයා ඒ සා බොහෝ වූ බැවින් මෝවබ්වරු භය වූහ. ඉශ්‍රායෙල්වරුන් නිසා මෝවබ්වරු සැබවින් ම භීතියෙන් පිරුණහ.
එවිට මිදියන්හි වැඩිහිටියන් ඇමතූ මෝවබ්වරු, “ගවයා කෙතේ තණ කා දමන්නාක් මෙන්, මුන් අප වටා ඇති හැම දෙයක් මකා දමනු ඇතැ” යි කීවෝ ය.
එකල මෝවබ්හි රජු වූයේ සිප්පෝර්ගේ පුත් බාලාක් ය. ඔහු බෙයෝර්ගේ පුත් බාලාම් කැඳවීමට පණිවුඩකරුවන් යැවී ය. බාලාම් පදිංචි ව සිටියේ තම නිජ බිමෙහි ගංගාව අසල පෙතෝර්හි ය. බාලාක්ගේ පණිවුඩය වූයේ,
“ඔන්න! ඊජිප්තුවෙන් පිටත් ව පැමිණි ජනකායක්! ඔවුහු දේශය වසා පැතිර, දැන් මගේ දේශ සීමාවට ම ඇවිදින්. මොවුන් මට වඩා බොහෝ බලවත් බැවින්, දැන් පැමිණ, මේ ජනතාව පිට ශාපයක් තබන්න. එවිට ඔවුන් පරදා, මේ රටින් පන්නා දමන්නට ඇතැම් විට මට හැකි වේවි; මන්ද ඔබ ආශිර්වාද කරන අය ආශිර්වාද ලබන බවත්, ඔබ ශාප කරන අය ශාප ලබන බවත් මම දනිමි” යන්න ය.
මෙසේ පේන ඇසීමට පඬුරු ගෙන, මෝවබ් හා මිදියන් වැඩිහිටියන් පිටත් වූහ. බාලාම් වෙත ආ ඔවුහු බාලාක්ගේ පණිවුඩය ඔහුට පැවසූහ.
ඔවුනට පිළිතුරු දුන් බාලාම්, “අද රෑ මෙහි නවතින්න. ස්වාමින්වහන්සේ මට දෙන පිළිතුර, මම ඔබ වෙත ගෙනෙමි” යි කීවේ ය. එබැවින් මෝවබ් ප්‍රභූහු ඔහු සමඟ නැවතුණහ.
දෙවියන්වහන්සේ බාලාම් වෙත ආ සේක්, “ඔබ හා සිටින මේ මිනිස්සු කවරහු දැ?” යි ඇසූ සේක.
බාලාම් දෙවියන්වහන්සේට පිළිතුරු දෙමින්, “සිප්පෝර්ගේ පුත්‍ර, මෝවබ්හි රජු බාලාක් මට මෙලෙස පණිවුඩ එවා තියෙනවා: ‘ඊජිප්තුවෙන් පිටත් ව ආ ජනතාවක් දේශය වසා පැතිර සිටිති. මා උදෙසා දැන් පැමිණ, මොවුන් පිට ශාපයක් තබන්න. එවිට ඔවුන් හා සටන් කොට, ඔවුන් පලවා හරින්නට ඇතැම් විට මට හැකි වනු ඇත’ යනු ඒ පණිවුඩය යැ” යි කීවේ ය.
එහෙත් දෙවියන්වහන්සේ බාලාම් අමතමින්, “ඔවුන් සමඟ නො යන්න. ඔබ ඒ ජනයාට ශාප නො කළ යුතු ය; ඔවුන් ආශිර්වාදිත යැ” යි පැවසූ සේක.
පසු දා උදෑසන පිබිදුණු බාලාම්, බාලාක්ගේ ප්‍රභූන් අමතමින්, “ඔබේ රටට ආපසු යන්න; මා ඔබ සමඟ යෑම ස්වාමින්වහන්සේ ප්‍රතික්ෂේප කළ සේකැ” යි කීවේ ය.
එබැවින් මෝවබ් ප්‍රභූහු බාලාක් වෙත ආපසු ගොස්, “අප සමඟ ඒම බාලාම් ප්‍රතික්ෂේප කළේ යැ” යි කීවෝ ය.
එවිට බාලාක්, පළමු අයට වඩා ගරු කටයුතු වූ පළමු වරට වඩා වැඩි ප්‍රභූන් පිරිසක් යැවී ය. බාලාම් වෙත පැමිණි ඔවුහු, “සිප්පෝර්ගේ පුත් බාලාක් මෙසේ කියයි:
“මා වෙත ඔබේ පැමිණීම වළක්වන්නට කිසිවකට හෝ ඉඩ නො දෙන්න. මම ඔබ මහත් ගෞරවයට පමුණු වන්නෙමි. ඔබ කියන කවර දේ වුව කරන්නෙමි. එබැවින් එන්න; අවුත්, මා උදෙසා මේ ජනතාව පිට ශාපයක් තබන්නැ” යි ඉල්ලූහ.
එහෙත් බාලාම් බාලාක්ගේ සේවකයනට පිළිතුරු දෙමින්, “බාලාක්, ඔහුගේ මාලිගය පිරෙන්නට ම රන් රිදී මට දෙතත්, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ අණට පටහැනි ව ලොකු දෙයක් හෝ සුළු දෙයක් හෝ කරන්නට මට නුපුළුවන. එබැවින් දැන් අනෙක් අය කළ පරිදි රැය මෙහි ගත කරන්න. ස්වාමින්වහන්සේ මට තව කුමක් කියන සේක් දැයි මම දැන ගන්නෙමි” යි කීවේ ය.
ඒ රැයේ දෙවියන්වහන්සේ බාලාම් වෙත පැමිණි සේක්, “මේ මිනිසුන් පැමිණ ඇත්තේ ඔබ කැඳවා යෑමට නම්, ඔවුන් සමඟ යන්න. එහෙත් මා ඔබට කියන දේ පමණක් කරන්නැ” යි කී සේක.