ගණන් 21:21-35
ගණන් 21:21-35 SCV
ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් වෙත පණිවුඩකරුවන් යවමින්; “ඔබේ රට හරහා, ඔබ්බට යෑමට අපට ඉඩ දෙන්න. අප යම් කෙතකට හෝ මිදි වත්තකට හෝ හැරෙන්නේවත්, ළිඳකින් වතුර බොන්නේවත් නැත. ඔබේ රට පසු කර යන තෙක්, රජ මාවත දිගේ අපි යන්නෙමු” යි කීහ. එහෙත් සීහොන්, තම රට මැදින් යන්නට ඉශ්‍රායෙල්වරුනට ඉඩ දුන්නේ නැත. තම මුළු හමුදාව රැස් කර වූ ඔහු, ඉශ්‍රායෙල්ට එරෙහිව පාළුකරයට ගමන් ගත්තේ ය. ඔහු, යහස් වෙත ළඟා වී, ඉශ්‍රායෙල්වරුන් හා සටන් වැදුණේ ය. එහෙත් ඉශ්‍රායෙල්වරු කඩු මුවහතින් ඔහු වනසා, අර්ණොන් නදිය සිට යබ්බොක් නදිය දක්වා ඔහුගේ දේශය අල්ලා ගත්හ. එහෙත් ඒ, අම්මොන්වරුන්ගේ දේශ සීමාව තෙක් පමණි. ඔවුන්ගේ දේශ සීමාව දැඩි ආරක්ෂා සහිත විය. ඉශ්‍රායෙල්වරු, හෙෂ්බෝන් හා ඒ වටා වූ සියලු ගම්මාන ඇතුළු ව අමෝරිවරුන්ගේ නගර සියල්ල අල්ලාගෙන, ඒවායේ පදිංචි වූහ. හෙෂ්බෝන්, අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ගේ පුරවරයයි. ඔහු කලින් සිටි මෝවබ් රජුට එරෙහිව සටන් වැද, අර්ණොන් දක්වා වූ ඔහුගේ බිම් සියල්ල පැහැරගෙන තිබිණි. කිවියන් මෙසේ කියන්නේ එබැවිනි. “හෙෂ්බෝන් වෙත එන්න. එය යළි ගොඩ නැංවේවා. සීහොන්ගේ නගරය පිළිසකර කෙරේවා. “හෙෂ්බෝන් වෙතින් ගිනි නික්ම, සීහොන් පුරයේ සිට ඇවිළ, මෝවබ්හි ආර් දවා දමා, අර්ණොන්හි උස් තැන්වල ජනයා වනසා දැමේ. එම්බා මෝවබ්! නුඹට දුක් පැමිණේ; කෙමොෂ් අදහන්නෙනි, තෙපි විනාශ වෙති. ඔහු තම පුතුන් පලා යන්නන් මෙන් ද තම දූවරුන් දාසියන් මෙන් ද අමෝරි රජු වූ සීහොන් වෙත පාවා දී ඇත. “එනමුදු අපි උන් පැරදුවෙමු. දීබොන් දක්වා මුළු හෙෂ්බෝන් විනාශ වී ඇත. මෙදෙබා තෙක් පැතිරෙන නොෆා දක්වා අපි උන් බිඳ හෙළුවෙමු.” මෙසේ ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ දේශයේ පදිංචි වූහ. යාසේර්හි ඔත්තු බැලීමට මෝසෙස් ඔත්තුකරුවන් යැවී ය. ඉන්පසු ඉශ්‍රායෙල්වරු යාසේර් වටා වූ ගම්මාන අල්ලාගෙන, ඒවායේ විසූ අමෝරිවරුන් පලවා හැරියහ. ඉන්පසු ඔවුහු බාෂාන් දෙසට හැරී, ඒ මාවත ඔස්සේ ගමන් කළහ. බාෂාන්හි රජු වූ ඕග් ද ඔහුගේ මුළු හමුදාව ද එද්රෙයිහි දී ඔවුන් හා යුධ වැදීමට පිටත් ව ආහ. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඔහුට භය නො වන්න. ඔහුත්, ඔහුගේ මුළු හමුදාවත්, ඔහුගේ දේශයත් මම ඔබේ අතට හසුකර දුනිමි. හෙෂ්බෝන්හි රජකම් කළ, අමෝරිවරුන්ගේ රජු වූ සීහොන්ට ඔබ කළ දේ ම මොහුටත් කරන්නැ” යි පැවසූ සේක. එබැවින්, ඔවුන්ගෙන් කිසිවකුත් ඉතිරි නො වන ලෙස ඒ රජු ද ඔහුගේ පුතුන් හා ඔහුගේ මුළු හමුදාව ද ගසා හෙළූ ඉශ්‍රායෙල්වරු ඔහුගේ දේශය අත්පත් කර ගත්තෝ ය.

