ගණන් 21:1-9

ගණන් 21:1-9 SCV

ඉශ්‍රායෙල්වරුන් අතාරිම්ට යන මාවත ඔස්සේ එන වග ඇසූ නෙගෙබ්හි විසූ කානානි ජාතික, අරාද්හි රජු, ඉශ්‍රායෙල්වරුනට පහර දී, ඔවුන්ගෙන් ඇතැම් දෙනකු අල්ලා ගත්තේ ය. එවිට ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේට බාරයක් වෙමින්, “ඔබවහන්සේ මේ ජනයා අපේ අත්වලට අල්ලා දෙන සේක් නම්, අපි ඔවුන්ගේ නගර සහමුලින් ම විනාශ කරන්නෙමු” යි ශපථ කළහ. ඉශ්‍රායෙල්ගේ අයැදීමට සවන් දුන් ස්වාමින්වහන්සේ ඔවුන් අතට, කානානිවරුන් හසුකර දුන් සේක. ඔවුහු කානානිවරුන් ද ඔවුන්ගේ නගර ද මුළුමනින් විනාශ කළහ. එබැවින් එම ස්ථානය හොර්මා නමින් හැඳින්විණි. ඉශ්‍රායෙල්වරු ඒදොම් රට අයින දිගේ යන පිණිස, හෝර් කන්දෙන් පිටත් ව, රතු මුහුදු මාර්ගය ඔස්සේ ගමන් ගත්හ. එහෙත් අතර මගදී වඩ වඩා නො ඉවසිලිමත් වූ ජනයා, දෙවියන්වහන්සේට එරෙහිව හා මෝසෙස්ට එරෙහිව කතා කරමින්, “මේ පාළුකරයේ මැරී යන්නට ඊජිප්තුවෙන් පිටතට නුඹ අප ගෙන ආවේ මොකට ද? මෙහි රොටි නැහැ; වතුර නැහැ; වැදගැම්මකට නැති මේ කෑම අපට දැන් අප්පිරියා වෙලා” යි කීහ. එවිට ස්වාමින්වහන්සේ ඔවුන් අතරට ගිනි වැනි සර්පයින් එවූ සේක. ජනයාට උන් දෂ්ට කළෙන්, ඉශ්‍රායෙල්වරුන් බොහෝ දෙනෙක් එයින් මළහ. එබැවින් මෝසෙස් වෙත පැමිණි ජනයා, “ස්වාමින්වහන්සේටත්, ඔබටත් එරෙහිව කතා කිරීමෙන්, අපි පව් කළා. අප වෙතින් මේ සර්පයින් පහ කර දමන ලෙස ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි ඉල්ලූහ. එවිට මෝසෙස් ජනතාව උදෙසා යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ගිනි වැනි සර්පයකු සාදා, රිටක් මත තබන්න. දෂ්ට කරනු ලැබූ කවරෙක් වුව, ඒ දෙස බලන්නේ නම්, ඔහු ජීවත් වෙතැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් ලෝකඩ සර්පයකු සාදා, රිටක් මත එය තැබී ය. එවිට, සර්පයකු විසින් දෂ්ට කරනු ලැබූ කවරකු වුව, ලෝකඩ සර්පයා දෙස බැලුවේ ද, ඔහු ජීවත් විය.

ගණන් 21:1-9 සඳහා වීඩියෝව