ගණන් 20:14-29

ගණන් 20:14-29 SCV

කාදෙෂ්හි සිට මෝසෙස් මෙසේ සඳහන් කරමින්, ඒදොම් රජු වෙත පණිවුඩකරුවන් යැව්වේ ය: “ඔබේ සහෝදර ඉශ්‍රායෙල් ජනයා ඔබට මෙසේ කියති; ඔබ දන්නවා ඇති, අප පිට පැමිණි සියලු අසීරුතා ගැන. අපේ ආදි පියවරු ඊජිප්තුවට ගිය නිසා බොහෝ අවුරුදු ගණනක් අප එහි වාසය කළා. ඊජිප්තුවරුන් අපටත්, අපේ පියවරුන්ටත් සැලකුවේ අයුතුකමින්. එහෙත් අප ස්වාමින්වහන්සේට මොර ගැසූ කල, උන්වහන්සේ අපේ හඬ ගෑම අසා, දේව දූතයකු එවා, ඊජිප්තුවෙන් පිටතට අප ගෙනා සේක. “දැන් අප සිටින්නේ ඔබේ දේශ සීමාවේ පිහිටි කාදෙෂ් නගරයේ; කරුණාකර, ඔබේ දේශය හරහා ඔබ්බට යෑමට අපට ඉඩ දෙන්න. අප යම් කෙතක් හෝ මිදි වත්තක් හෝ උඩින් යන්නේවත්, යම් ළිඳකින් වතුර බොන්නේවත් නැත. ඔබේ දේශය පසු කර යන තෙක්, දකුණටවත්, වමටවත් නො හැරී, රජ මාවත දිගේ ම අපි යන්නෙමු.” එහෙත්, ඒදොම් වෙතින් ලද පිළිතුර වූයේ, “මේ රට හරහා ඔබ නො යා යුතු ය. එසේ කිරීමට ඔබ තැත් දැරුවහොත්, අපි අසිපත් දරා අවුත් ඔබට පහර දෙන්නෙමු” යන්නයි. ඉශ්‍රායෙල්වරු යළි ඔවුන් අමතමින්, “අප ගමන් ගන්නේ මහ මාවත ඔස්සේ ම ය. අප හෝ අපේ සතුන් හෝ යම් හෙයකින් ඔබේ වතුර බීවහොත් අපි ඊට ගෙවන්නෙමු. අපට අවශ්‍ය අන් කිසිවක් නො ව, පා ගමනින් ඔබේ රට හරහා යෑම පමණි” යි පැවසූහ. ඔවුන් ද යළි පිළිතුරු දෙමින්, “මේ රට හරහා ඔබ නො යා යුතු යැ” යි කීහ. ඉන්පසු ඒදොම්වරු විශාල පිරිසකගෙන් බලවත් හමුදාවක් ඔවුන්ට එරෙහිව පිටත් ව ආහ. තම රට හරහා යෑම ඒදොම්වරුන් ප්‍රතික්ෂේප කළ බැවින්, ඉශ්‍රායෙල්වරු ඔවුන් වෙතින් වෙනතක හැරුණහ. මුළු ඉශ්‍රායෙල් ප්‍රජාව කාදෙෂ් වෙතින් පිටත් ව හෝර් කන්දට පැමිණියහ. ඒදොම් දේශ සීමාවට නුදුරු හෝර් කන්දේදී, මෝසෙස් හා ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, “ආරොන්, මිය ගිය තම ජනයාට එකතු වනු ඇත. මෙරීබා ජලය අසලදී ඔබ දෙදෙනා මගේ අණට එරෙහිව කැරලි ගැසූ බැවින්, ඉශ්‍රායෙල්වරුනට මා දෙන දේශයට ඔහු ඇතුළු වන්නේ නැත. ආරොන් හා ඔහුගේ පුත් එලෙයාසර් හෝර් කන්ද උඩට කැඳවාගෙන එන්න. ආරොන්ගේ පූජක ඇඳුම් ඉවත් කොට, ඔහුගේ පුත් එලෙයාසර්ට ඒවා හඳවන්න. ආරොන්, මිය ගිය තම ජනයාට එක්වීමට යයි. ඔහු එහිදී මිය යන්නේ යැ” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේ අණ කළ දේ මෝසෙස් කළේ ය. මුළු ජන සමූහයා බලා සිටියදී ඔවුහු හෝර් කන්දට නැගුණහ. ආරොන්ගේ ඇඳුම් ඉවත් කළ මෝසෙස් ඒවා ඔහුගේ පුත් එලෙයාසර්ට හැඳවී ය. එහි, කඳු මුඳුනේදී ආරොන් මියැදුණේ ය. මෝසෙස් හා එලෙයාසර් ඉන්පසු කන්දෙන් පහළට ආහ. ආරොන් මිය ගොස් ඇති වග දුටු කල, ඉශ්‍රායෙල් වංශික සියල්ලෝ තිස් දවසක් ඔහු උදෙසා ශෝක වූහ.

ගණන් 20:14-29 සඳහා වීඩියෝව