ගණන් 16:24-33
ගණන් 16:24-33 SCV
“කෝරාගේත්, දාතාන්ගේත්, අබිරාම්ගේත් කූඩාරම් වෙතින් ඈත්වන ලෙස රැස් වූ සමූහයාට කියන්නැ” යි කී සේක. මෝසෙස් එවිට නැගිට, දාතාන් හා අබිරාම් වෙත ගියේ ය. ඉශ්‍රායෙල් වැඩිහිටියෝ ඔහු පසුපසින් ගියහ. මෝසෙස්, රැස් ව සිටි සමූහයාට අවවාද කරමින්, “මේ දුෂ්ට මිනිසුන්ගේ කූඩාරම් වෙතින් ඈත් වනු. ඔවුන්ට අයිති කිසි දේකට අත නො ගසනු. එසේ කළොත් ඔවුන්ගේ සියලු පාප හේතුවෙන් ඔබත් වැනසී යනු ඇතැ” යි කීවේ ය. එබැවින් ඔවුහු කෝරාගේ ද දාතාන්ගේ ද අබිරාම්ගේ ද කූඩාරම් වෙතින් ඉවත් වූහ. දාතාන් හා අබිරාම් තම භාර්යාවන් ද දරුවන් සහ අත දරුවන් ද සමඟ තම කූඩාරම්වලින් පිටතට අවුත්, කූඩාරම් දොරකඩ සිටගෙන වුන්හ. එවිට, මෝසෙස්, “මේ සියල්ල කිරීමට මා එවුවේ ස්වාමින්වහන්සේ බවත්, එය මගේ ම අදහසක් නො වන බවත් ඔබ දැනගන්නේ මෙසේයි: මේ මිනිසුන් ස්වාභාවික ව මළොත්, මිනිසාට පොදු ඉරණමකට පමණක් ඔවුන් බඳුන් වුවහොත්, ස්වාමින්වහන්සේ මා එවා නැත. එහෙත්, ස්වාමින්වහන්සේ මුළුමනින් ම අමුතු දෙයක් කර, පොළොව එහි මුව විවර කර, ඔවුන් සන්තක සියල්ල සමඟ ඔවුන් ගිලගතහොත්, එසේ පණ පිටින් ම ඔවුන් ෂෙයෝලයට ඇදී ගියහොත්, මේ මිනිසුන් විසින් ස්වාමින්වහන්සේ සුළු කොට සලකන ලද වග ඔබ දැනගන්නවා ඇතැ” යි කීවේ ය. ඔහු මේ සියල්ල පවසා නිම වනවාත් සමඟ ම, ඔවුන් සිටි තැන යටින් පොළොව පැළිණි. පොළොව තම මුව විවර කර, ඔවුන් ද ඔවුන්ගේ ගෘහ වාසීන් ද කෝරාගේ මිනිසුන් ද ඔවුන් සන්තක සියල්ල ද ගිලගත්තේ ය. තමන් සන්තක සියලු දේ සමඟින් ඔවුහු පණ පිටින් ම ෂෙයෝලයට ඇදී ගියහ. ඔවුන්ට ඉහළින් පොළොව වැසී ගියේ ය. මෙසේ ඔවුහු විනාශ වී ගියහ; ජන සමාජය වෙතින් දුරු වී ගියහ.

