ඒ රැයේ මුළු ප්‍රජාව මහ හඬ නගා, හඬා වැලපෙන්නට වන්හ. සියලු ඉශ්රායෙල්වරු මෝසෙස්ටත්, ආරොන්ටත් එරෙහිව මැසිවිලි නැගූහ; මුළු ප්‍රජාව ම ඔවුන් අමතමින්, “අනේ අපට ඊජිප්තුවේදී මැරෙන්නට ලැබුණා නම්! නැත්නම් මේ පාළුකරයේ මැරෙන්නට ලැබුණා නම්! කඩු පහරින් අප වැටී යන්නට ස්වාමින්වහන්සේ මේ දේශයට අප ගෙන ආවේ මන්ද? අපේ අඹු-දරුවන් කොල්ලයට හසු වේවි. ඊජිප්තුවට ආපසු හැරී යෑම අපට වඩා හොඳ නො වේ දැ?” යි කීහ. ඉන්පසු එකිනෙකා ඇමතූ ඔවුහු, “නායකයකු තෝරා ගෙන ඊජිප්තුවට ආපසු හැරී යමු” යි කීහ.
එවිට මෝසෙස් හා ආරොන් එහි එක් රැස් වූ මුළු ඉශ්රායෙල් සභාව ඉදිරියේ මුහුණ බිම නමා, වැටුණහ. දේශයේ ඔත්තු බැලීමට ගියවුන් අතරේ වූ නූන්ගේ පුත් යෝෂුවා හා යෙෆුන්නෙගේ පුත් කාලෙබ් යන දෙදෙන තම ඇඳුම් ඉරාගෙන, ඉශ්රායෙල් මුළු ජන සමූහයා අමතමින්, “ඔත්තු බලමින්, පරීක්ෂා කරන්නට අප ගිය රට ඉතාම කදිමයි. ස්වාමින්වහන්සේ අප හා ප්‍රසන්න නම්, කිරි හා පැණි ගලා යන දේශයක් වන ඒ දේශයට උන්වහන්සේ අපට මගපෙන්වා, එය අපට දෙන සේක. ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගසන්න එපා. ඒ දේශයේ ජනයාට බිය වෙන්නත් එපා. මන්ද ඔවුන් අපට ගොදුරක් වේවි. ඔවුන්ගේ ආරක්ෂාව පහව ගොස්. මන්ද ස්වාමින්වහන්සේ අප සමඟයි; ඔවුන්ට බය වන්න එපා” යි කීහ.
එහෙත්, මුළු ජන සමූහයා ඔවුනට ගල් ගසන්නට කතා වූහ. එවිට ස්වාමින්වහන්සේගේ තේජස, හමුවීමේ කූඩාරමේ සියලු ඉශ්‍රායෙල්වරුනට පෙනිණි. ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “තව කොතෙක් කල් මේ ජනතාව මා හෙළා දකිත් ද? මේ සා හාස්කම් ලකුණු ඔවුන් මධ්‍යයේ මා සිදුකර තිබියදීත්, තව කොතෙක් කල් ඔවුහු මා කෙරේ විශ්වාසය තැබීම ප්‍රතික්ෂේප කරත් ද? මම ව්‍යසනයකින් පහර දී, ඔවුන් විනාශ කර දමන්නෙමි. ඔවුනට වඩා ශ්‍රේෂ්ඨ වූත්, බලසම්පන්න වූත් ජාතියක් බවට මම ඔබ පත් කරන්නෙමි” යි පැවසූ සේක.
එහෙත් මෝසෙස්, ස්වාමින්වහන්සේ අමතමින්, “එවිට ඊජිප්තුවරුන්ට ඒ ගැන අසන්නට ලැබේවි! ඔබවහන්සේ ඔවුන් වෙතින් මේ ජනයා ගෙනාවේ ඔබේ ම බලයෙන්. මේ දේශයේ වෙසෙන්නවුනටත් ඔවුන් ඒ බව කියාවි. අහෝ ස්වාමින්වහන්ස, මේ ජනයා සමඟ ඔබවහන්සේ සිටින වග ඔවුන් දැනටමත් අසා තිබෙනවා නො වේ ද? ඔබවහන්සේ මුහුණට මුහුණ දක්නට ලැබෙන වගත්, ඔබවහන්සේගේ වලාකුළ ඔවුන්ට ඉහළින් පවතින වගත්, දහවලේ වලා ටැඹකින් ද රැයේ ගිනි ටැඹකින් ද ඔබවහන්සේ ඔවුන්ට පෙරටුව යන වගත් ඔවුන් අසා තිබෙනවා නො වේ ද? අහෝ ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මේ මුළු ජනතාව එක් පහරින් මරණයට පත් කළහොත්, ඔබවහන්සේ ගැන මේ පුවත අසා ඇති ජාතීන් කියනු ඇත්තේ, ‘මේ ජනතාවට ස්වාමින්වහන්සේ දිවුරා පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන ඒමට අපොහොසත් වූ නිසා, උන්වහන්සේ පාළුකරයේදී ඔවුන් මරා දැමූ සේක’ කියායි.
“ඔබවහන්සේ ප්‍රකාශ කර ඇති පරිදි දැන් ස්වාමින්වහන්සේගේ බලපරාක්‍රමය විදහා දැක්වුව මැනවි. එනම්, ‘ස්වාමින්වහන්සේ වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය; දුෂ්ටකමට හා අපරාධයට කමාව දෙන සේක. එහෙත් වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක්, පියවරුන්ගේ පාපයට දරුවන්ට තුන් වන හා හතර වන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක’ යනුයි. එබැවින් ඔවුන් ඊජිප්තුවෙන් පිටත් වූ දා සිට අද දක්වා වරින් වර ඔබ ඔවුනට කමාව දුන් අයුරින්, ඔබගේ නොමියෙන ප්‍රේමයෙහි ශ්‍රේෂ්ඨත්වයට අනුකූලව මේ ජනතාවගේ පාපය කමා කළ මැනව” යි අයැදී ය.
ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ ඉල්ලූ පරිදි, මම ඔවුනට කමා වුණෙමි. එසේ ද වුව, මා ජීවත් වන වග සැබෑ සේ ම, ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් මුළු මිහිතලය පිරෙන වග සැබෑ සේ ම, ඊජිප්තුවේ හා පාළුකරයේ මගේ තේජෝ මහිමයත් මා පෑ හාස්කම් ලකුණුත් දුටු නමුදු දහ වරක් ම මා පරීක්ෂා කරමින්, මට අකීකරු වූ එක් කෙනකුවත් ඔවුන්ගේ පියවරුන්ට මා දිවුරා පොරොන්දු වූ දේශය කිසි දින දකින්නේ නැත. මා සුළු කොට තැකූ කිසි කෙනකුට, කිසි දිනෙක එය දක්නට ලැබෙන්නේ නැත.