ගණන් 13:17-26
ගණන් 13:17-26 SCV
කානාන් දේශයේ ඔත්තු බැලීමට ඔවුන් පිටත් කර හරිමින්, ඔවුන් ඇමතූ මෝසෙස්, “නෙගෙබ් පෙදෙස මැදින් ගොස්, කඳුරටට ඇතුළු වන්න. ඒ රට මොන වගේ ද, එහි වෙසෙන ජනයා බලවත් ද, දුර්වල ද, සිටින්නේ ටික දෙනෙක් ද, බොහෝ දෙනෙක් ද, ඔවුන් ජීවත් වන්නේ කවර විදියේ රටක ද, එය හොඳ ද, නරක ද, ඔවුන් වෙසෙන්නේ කවර අන්දමේ නගරවල ද, ඒවා ප්‍රාකාර රහිත ද, ප්‍රාකාර සහිත ද, එහි පස කෙසේ ද, සාරවත් ද, නිසරු ද, එහි ගස් වැවී තිබේද-නැද්ද, යන වග සොයා බලන්න. දේශයේ පලවලින් යමක් ගෙන ඒමට උපරිම උත්සාහ දරන්නැ” යි පැවසී ය. එය ප්‍රථම මිදි නෙළන වාරය විණි. මෙසේ පිටත් ව ගිය ඔවුහු සීන් කාන්තාරයේ පටන් ලෙබෝ-හමාත් දෙසට රෙහොබ් දක්වාත් දේශය පිරික්සූහ. නෙගෙබ් පෙදෙස මැදින් ගිය ඔවුහු, අනාක්ගෙන් පැවතෙන්නන් වූ අහීමන්, ෂේෂයි හා තල්මයි විසූ හෙබ්‍රොන් වෙත පැමිණියහ. (හෙබ්‍රොන් පුරවරය, ඊජිප්තුවේ සොවන් පුරවරයටත් වඩා හත් වසරකට කලින් ගොඩ නගන ලද්දකි.) එෂ්කොල් මිටියාවතට ළඟා වූ ඔවුහු, තනි මිදි පොකුරක් සහිත අත්තක් කපා ගත්හ. එය රැගෙන එන ලද්දේ ලීයක බැඳ මිනිසුන් දෙදෙනකු විසින් කර තබාගෙන ය. දෙළුම් හා අත්තික්කා ද ඔවුහු ගෙන ආහ. එම ස්ථානය එෂ්කොල් මිටියාවත නමින් හඳුන්වන ලද්දේ, ඉශ්‍රායෙල්වරුන් එහිදී කපා ගත් මිදි පොකුර නිසා ය. දේශයේ ඔත්තු බැලූ ඔවුහු හතළිස් දවසක් අවසානයේ ආපසු ආහ. පාරාන් කාන්තාරයේ කාදෙෂ්හි සිටි මෝසෙස් ද ආරොන් ද මුළු මහත් ඉශ්‍රායෙල් ප්‍රජාව ද වෙත ඔවුහු ආපසු ආහ. එහිදී ඔවුන්ටත්, මුළු ප්‍රජාවටත් කරුණු සැල කළ ඔවුහු දේශයේ පල ද ඔවුනට පෙන්වූහ.

