නෙහෙමි 8:1-10

නෙහෙමි 8:1-10 SCV

මුළු ජනතාව එකාවන් ව ජල දොරටුව ඉදිරිපිට එළිමහන් පිටිය වෙත එක් රැස් වූහ. ස්වාමින්වහන්සේ විසින් ඉශ්‍රායෙල්ට අණ කර තිබූ මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත පිටතට ගෙනෙන්නැයි ඔවුහු ධර්මාචාර්ය එස්රාට කීහ. එබැවින් හත් වන මස, පළමු දින පූජක එස්රා, පුරුෂ-ස්ත්‍රීන් හා ඇසෙන දේ වටහා ගත හැකි සියල්ලන්ගෙන් සමන්විත එක් රැස්වීම ඉදිරියට ව්‍යවස්ථා පොත ගෙනාවේ ය. ඔහු ජල දොරටුව ඉදිරිපිට චතුරස්‍රයට මුහුණ ලා පුරුෂයින්, ස්ත්‍රීන් හා යමක් අවබෝධ කර ගත හැකි සියල්ලන් අබියස, අලුයම් උදයේ පටන් මධ්‍යාහ්නය දක්වා හඬ නගා එය කියවී ය. මුළු ජනතාව සාවධාන ව ව්‍යවස්ථා පොතට සවන් දුන්හ. ඒ පිණිස ලෑලිවලින් තැනූ උස් වේදිකාවක් මත ධර්මාචාර්ය එස්රා සිටගෙන සිටියේ ය. ඔහුගේ දකුණු පස සිටගෙන සිටියේ මත්තිතියා, ෂෙමා, අනායා, ඌරියා, හිල්කීයා හා මාසේයා ය. ඔහුගේ වම් පස පෙදායා, මිෂායෙල්, මල්කීයා, හාෂුම්, හෂ්බද්දානා, සෙකරියා හා මෙෂුල්ලාම් සිටියහ. සියල්ලන්ට ඉහළින් සිටගෙන සිටි එස්රා මුළු ජනතාවගේ ඇස් හමුවේ පොත දිග හැරියේ ය; ඔහු එය දිග හැරිය කල ජනයා සැවොම නැගිට සිටගත්හ. ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එස්රා ප්‍රශංසා කළේ ය; මුළු ජනතාව තම අත් ඉහළට ඔසවමින්, “ආමෙන්! ආමෙන්!” කියා ප්‍රතිචාර දැක්වූහ. ඉන්පසු ඔවුහු බිමට නැමී, තම මුහුණු බිම ඔබා, ස්වාමින්වහන්සේට නමස්කාර කළහ. තවද යේෂුවා, බානී, ෂේරෙබියා, යාමීන්, අක්කූබ්, ෂබ්බෙතයි, හෝදීයා, මාසේයා, කෙලීටා, අසරියා, යෝසාබාද්, හානාන් හා පෙලායා යන ලෙවීවරු, ජනයා සිටි තැන්වල සිටියදී, ඔවුන්ට ව්‍යවස්ථාව පැහැදිලි කර දුන්හ. ඔවුහු ඒ පොතෙන්, දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙන් පැහැදිලි ව කියවා, කියවූ දෙය තේරුම් ගැනීමට ජනයාට එහි අර්ථය කියා දුන්හ. ඉන්පසු ආණ්ඩුකාර නෙහෙමියා ද පූජකයා හා ධර්මාචාර්ය එස්රා ද ජනයාට ඉගැන් වූ ලෙවීවරුන් ද මුළු මහත් ජනයා අමතා, “අද දවස ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ශුද්ධ දවසක් බැවින් වැලපෙන්නටවත්, අඬන්නටවත් එපා යැ” යි පැවසූහ. මන්ද මුළු ජනතාව ව්‍යවස්ථා පොතේ වචන ඇසූ කල හඬා වැටුණහ. ඉන්පසු ඔහු ඔවුන්ට කතා කොට, “යන්න, රස බොජුන් අනුභව කරන්න. මිහිරි බීම බොන්න. කිසිවක් සූදානම් කර ගන්නට නො හැකි වූ අයට එයින් කොටස් යවන්න. අද දවස අපගේ ස්වාමින්ට ශුද්ධ ය; ශෝක නො වන්න; මන්ද ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතිවීම ඔබේ ශක්තිය යැ” යි පැවසී ය.