නෙහෙමි 6:1-9

නෙහෙමි 6:1-9 SCV

කැඩුමකින්, බිඳුමකින් තොර ව මා පවුර යළි ඉදිකර ඇති වග සන්බල්ලට්ට ද ටෝබීයාට ද අරාබි ජාතික ගෙෂෙම්ට ද අපගේ සෙසු සතුරන්ට ද සැල විය. එහෙත් ඒ දක්වා මා දොරටුවල දොරවල් සවි කර තිබුණේ නැත. සන්බල්ලට් හා ගෙෂෙම් මට පණිවුඩ එවමින්, “එන්න; ඕනෝ තැන්නේ ගම්මානයකදී අපි එකට මුණගැසෙමු” යි කියා එවූහ. එහෙත් ඔවුන් අදහස් කළේ මට අනතුරු කරන්නට ය. එබැවින් මම මෙසේ කියමින්, පණිවුඩකරුවන් ඔවුන් වෙත යැවුවෙමි: “මා මහත් කාරියකට අත ගසා සිටින බැවින් එන්නට නො හැකියි. මේ වැඩය හැර ඔබ වෙත එන්නට මේ වැඩේ නැවැත්විය යුත්තේ කුමට ද?” ඒ එක ම පණිවුඩය ඔවුන් හතර වතාවක් ම මා වෙත එවූ අතර ඒ හැම විට මා දුන්නේ ද එක ම පිළිතුරකි. ඉන්පසු පස් වන වතාවේදී සන්බල්ලට් එම පණිවුඩය ම තම මෙහෙකරු අත මා වෙත එවී ය. විවෘත ලිපියක් ඔහු අත විය. එහි මෙසේ ලියා තිබිණි: “ඔබත්, යුදෙව්වනුත් කැරලි ගසන්නට සැලසුම් කරන වගත්, ඔබ පවුර ඉදි කරන්නේ ඒ නිසා ම වගත්, ජාතීන් අතරේ ආරංචි වී ඇත. ගෂ්මු ද එසේ පවසයි. මේ ආරංචිවලට අනුව ඔබ ඔවුන්ගේ රජු වන්නට යන වග ද සැලයි. තවද ‘යූදාහි රජකු සිටී!’ යයි ඔබ ගැන යෙරුසලම තුළ ප්‍රකාශ කරන්නට දිවැසිවරුන් පවා සිටුවා ඇතැයි සැලයි; මේ පුවත රජුට ද සැලවනු ඇත; එබැවින් එනුව අපි එක් ව සාකච්ඡා කරමු” යි යන්න ය. එවිට මම, “ඔබ පවසන කිසිවක් සිදු වී නැත; ඔබ එය සිතින් මවා ගත් එකකි” යි ඔහු වෙත පිළිතුරු යැවීමි. මන්ද ඔවුන් සැමට ඕනෑ කළේ, “ඔවුන්ගේ අත්වලින් ඒ වැඩේ නවතීවි. ඒ කාරිය නො කෙරේවි” යි කියමින්, අප බිය ගන්වන්නට ය. එහෙත් අහෝ දෙවියන්වහන්ස, දැන් මගේ දෑත් සවිමත් කළ මැනව.