නෙහෙමි 4:6-11
නෙහෙමි 4:6-11 SCV
එබැවින් අපි පවුර ගොඩ නැගුවෙමු. පවුරේ මුළු උසින් අඩක් දක්වා ම එය බැන්දෙමු. මන්ද ජනයා තම මුළු හදවතින් ම වැඩ කළෝ ය. එහෙත් යෙරුසලම් පවුරේ ඉදිකිරීම් ඉදිරියට කර ගෙන යන වගත්, එහි කැඩුම්-බිඳුම් වැසීම ඇරඹී ඇති වගත් ඇසූ සන්බල්ලට්, ටෝබීයා, අරාබිවරු, අම්මොන්වරු හා අෂ්දෝද් මිනිස්සු මහත් කෝපයට පත් වූහ. ඔවුහු සියල්ලෝ එක් ව යෙරුසලමට එරෙහිව සටන් කරන්නට ඒමටත්, ඊට එරෙහිව වියවුලක් හටගන්වන්නටත් කුමන්ත්රණ කළහ. එහෙත් අපි අපේ දෙවියන්වහන්සේට යාච්ඤා කර, ඔවුන්ට එරෙහිව දිවා-රාත්රී මුරකාවක් තැබුවෙමු. මේ අතර යූදාහි මෙසේ කියැවිණ: “බර අදින්නන්ගේ ශක්තිය හීන වී යයි. සුන්බුන් ගොඩ බොහෝ ය. පවුර ගොඩනැගීම අපට කළ නො හැකි ය” යනුයි. තවද අපේ සතුරෝ කතා කොට, “ඔවුන් දැනගන්නට කලින්, අප දකින්නටත් කලියෙන් අපි ඔවුන් මැදට පැන, ඔවුන් මරා දමා, වැඩේ නවතා දමමු” යි කීහ.

