නෙහෙමි 4:1-9

නෙහෙමි 4:1-9 SCV

අප පවුර ඉදිකරන වග සන්බල්ලට් ඇසූ කල, ඔහු කෝපයට පත් ව, දැඩි සේ කුපිත වී, යුදෙව්වරුන්ට ගර්හා කරමින්, තම සහායකයින් හා සමාරි හමුදාව ඉදිරිපිට කතා කොට, “මොනවා ද ඒ බෙලහීන යුදෙව්වන් කරන්නේ? ඔවුන් එය තමන් ම ප්‍රකෘතිමත් කරනවා ද? ඔවුන් යාග පූජා කරනවා ද? ඔවුන් එය එක දවසකින් නිම කරයි ද? පිලිස්සී දැවී ගිය මේ සුන්බුන්වලින් ගඩොල් තනා ගන්නට ඔවුන්ට පුළුවන් දැ?” යි පැවසී ය. ඔහු පසෙකින් සිටි අම්මොනීය ටෝබීයා කතා කරමින්, “හරි, ඔවුන් ඉදිකරන මේකට හිවලෙක් ගොඩ වුණොත්, ඌ ඔවුන්ගේ ගල් බැම්ම කඩා දමනු ඇතැ” යි පැවසී ය. අපට සවන් දුන මැනවි, අහෝ අපගේ දෙවියන්වහන්ස, මන්ද අප අවමානයට පත් වෙලා. ඔවුන්ගේ නින්දා ඔවුන්ගේ හිස් පිටට ම හැරවුව මැනව. වෙනත් රටක වහලුන් බවට පත් වී, කොල්ලකනු ලැබීමට ඔවුන් හසුකර දුන මැනවි. ඔබගේ ඇස් හමුවෙන් ඔවුන්ගේ අපරාධය වසන් නො කළ මැනව; ඔවුන්ගේ පාපය මකා නො දැමුව මැනව. මන්ද ඔවුන් ගොඩ නගන්නන් ඉදිරිපිටදී ඔබ කෝප ගැන් වූ බැවිනි. එබැවින් අපි පවුර ගොඩ නැගුවෙමු. පවුරේ මුළු උසින් අඩක් දක්වා ම එය බැන්දෙමු. මන්ද ජනයා තම මුළු හදවතින් ම වැඩ කළෝ ය. එහෙත් යෙරුසලම් පවුරේ ඉදිකිරීම් ඉදිරියට කර ගෙන යන වගත්, එහි කැඩුම්-බිඳුම් වැසීම ඇරඹී ඇති වගත් ඇසූ සන්බල්ලට්, ටෝබීයා, අරාබිවරු, අම්මොන්වරු හා අෂ්දෝද් මිනිස්සු මහත් කෝපයට පත් වූහ. ඔවුහු සියල්ලෝ එක් ව යෙරුසලමට එරෙහිව සටන් කරන්නට ඒමටත්, ඊට එරෙහිව වියවුලක් හටගන්වන්නටත් කුමන්ත්‍රණ කළහ. එහෙත් අපි අපේ දෙවියන්වහන්සේට යාච්ඤා කර, ඔවුන්ට එරෙහිව දිවා-රාත්‍රී මුරකාවක් තැබුවෙමු.

මෙයට අදාළ වීඩියෝ

නෙහෙමි 4:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය