නෙහෙමි 13:1-9
නෙහෙමි 13:1-9 SCV
ඒ දවසේ ජනයා අසා සිටියදී මෝසෙස්ගේ පොත හඬ නගා කියවන ලදී. අම්මොන් හෝ මෝවබ් ජාතික කිසිවකු කිසි කලෙක දෙවියන්වහන්සේගේ එක්රැස්වීමට ඇතුල් නො විය යුතු යැයි එහි ලියා තිබෙනු හමු විණි. මන්ද ඔවුහු කෑමත්, වතුරත් රැගෙන, ඉශ්‍රායෙල් මුණගැසෙන්නට නො පැමිණියා සේ ම ඔවුන් පිටට ශාපයක් ගෙනෙන්නට බාලාම් ද කුලියට ගත්හ. (එසේ වුවත් අපේ දෙවියන්වහන්සේ එම ශාපය ආශිර්වාදයකට පෙරළූ සේක.) ජනයා මේ නීතිය ඇසූ කල, විදෙස්සන්ගෙන් පැවත එන සියල්ලන් ඉශ්‍රායෙල් වෙතින් වෙන් කළහ. මින් පෙර අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේ ගබඩා කාමර බාර ව සිටියේ පූජක එලියාෂීබ් ය. ඔහුට ටෝබීයා හා නෑකමක් තිබුණේ ය. ඔහු ටෝබීයාට විශාල කාමරයක් දී තිබිණ. එය කලින් භාවිත කර තිබුණේ ධාන්‍ය පූජා, සුවඳ ද්‍රව්‍ය හා දේව මාලිග භාණ්ඩ ද ලෙවීවරුන්ට, ගායනා කරන්නන්ට සහ දොරටු පාලකයන්ට නියම කරන ලද ධාන්‍ය, අලුත් මිදි යුෂ සහ තෙල්වල දසයෙන් කොටස ද පූජකයින් සඳහා වූ සම්මාදම් ද ගබඩා කිරීමට ය. එහෙත් මේ සියල්ල සිදුවන අතරේ, මා යෙරුසලමේ සිටියේ නැත. බබිලෝනි රජු වූ අර්තාෂස්තාගේ තිස්දෙවන අවුරුද්දේ මම රජු වෙත ගියෙමි. ටික කලකට පසු ඔහුගෙන් අවසර ගෙන මම, ආපසු යෙරුසලමට පැමිණියෙමි. දෙවියන්වහන්සේගේ ගෘහයේ මළුවේ වූ කාමරයක් ටෝබීයාට දීමෙන් එලියාෂීබ් කර තිබූ නපුර ගැන මට දැනගන්නට ලැබුණේ එහිදී ය. මම බෙහෙවින් කැලඹී, ටෝබීයාගේ ගේ-බඩු සියල්ල කාමරයෙන් පිටත විසී කළෙමි. කාමර පවිත්‍ර කරන්නට නියෝග දුන් මම ඉන්පසු දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩත්, ධාන්‍ය පූජා හා සුවඳ ද්‍රව්‍යයත් ඒ කාමරවලට ආපසු ගෙනාවෙමි.

