නෙහෙමි 11:22-36

නෙහෙමි 11:22-36 SCV

යෙරුසලමෙහි වූ ලෙවීවරුන්ගේ වැඩ බලන්නා වූයේ මීකාගේ පුත්‍ර, මත්තනියාගේ පුත්‍ර, හෂබියාගේ පුත්‍ර, බානීගේ පුත්‍ර උස්සී ය. ඔහුට දෙවියන්වහන්සේගේ ගෘහ සේවයේ නියැළුණු ආසාෆ්ගෙන් පැවත එන ගායකයින් බාර විය. මන්ද ගායකයින්ගේ අවශ්‍යතා සඳහා දිනපතා ස්ථිර සැපයීමක් පිළිබඳ රජුගේ ආඥාවක් වූයේ ය. ජනතාව හා සම්බන්ධ සියලු කටයුතුවලදී රජුගේ නියෝජිතයා ව සිටියේ යූදාගේ පුත්‍ර සෙරාගෙන් පැවතෙන්නකු වූ මෙෂේසබෙල්ගේ පුත්‍ර පෙතහියා ය. තවද ගම් දනවු හා ඒවායේ කෙත්වත් සම්බන්ධ ව යූදා මිනිසුන්ගෙන් ඇතමෙක් කිර්යත්-අර්බා හා ඊට අයත් ගම්මානවල ද දීබොන් හා එහි ගම්මානවල ද යෙකබ්සෙයෙල් හා එහි ගම්මානවල ද වාසය කළහ. තවද යේෂුවාහි ද මෝලාදාහි ද බෙත්-පෙලෙත්හි ද හසර්-ෂූවාල්හි ද බෙයර්ෂෙබා හා එහි ගම්මානවල ද සික්ලග්හි ද මෙකොනා හා එහි ගම්මානවල ද ඒන්-රිම්මෝන්හි ද සෝරාහි ද යර්මූත්හි ද සානෝවා හි ද අදුල්ලාම් හා ඒවායේ ගම්මානවල ද ලාකීෂ් හා එහි කෙත්වත්වල ද අසේකා හා එහි ගම්මානවල ද වාසය කළහ. එසේ ඔවුහු බෙයර්ෂෙබා පටන් හින්නොම් මිටියාවත දක්වා කඳවුරු ගැසූහ. බෙන්යමින් ජනයා ද ගෙබා පටන් මික්මාස් දක්වා අය්යා, බෙතෙල් හා එහි ගම්මානවල ද අනාතොත්, නොබ් හා අනනියාහි ද හාසොර්, රාමා හා ගිත්තයිම්හි ද හාදීද්, සෙබොයීම් හා නෙබල්ලාට්හි ද ලොද් සහ ඕනෝ හා ගේ-හරාෂීම්හි ද වාසය කළහ. යූදාහි ලෙවී කණ්ඩායම් කීපයක් බෙන්යමින් වෙත පැවැරිණි.