නාහුම් 1:1-8

නාහුම් 1:1-8 SCV

නිනිවය පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයකි. එල්කොෂීය නාහුම්ගේ දර්ශන පොත ය. ස්වාමින්වහන්සේ ඊර්ෂ්‍යා සහගත වූ පළි ගන්නා දෙවියන්වහන්සේ ය. පළි ගන්නා වූ ස්වාමින්වහන්සේ උදහසින් පූර්ණ ය. ස්වාමින්වහන්සේ ස්වකීය එදිරිවාදීන්ගෙන් පළි ගන්නා සේක්, තම සතුරන්ට එරෙහිව උදහස පානා සේක. ස්වාමින්වහන්සේ වහා නො කිපෙන සුළු ය. බලයෙන් විශිෂ්ට ය. ස්වාමින්වහන්සේ වරදකරුවන්ට දඬුවම් නො කර නාරින සේක. උන්වහන්සේගේ මාර්ගය සුළි සුළඟෙහි ද කුණාටුවෙහි ද වෙයි. වලාකුළු උන්වහන්සේගේ පා දූවිලි ය. උන්වහන්සේ මුහුදට තරවටු කර, එය සිඳී යන්නට සලසන සේක්, සියලු ගංගා වියළෙන්නට සලසන සේක. බාෂාන් හා කර්මෙල් උයන් මැලවී යයි. ලෙබනොන්හි මල් පරවෙයි. උන්වහන්සේ ඉදිරියේ කඳු සලිත වෙයි. හෙල් දියවී යයි. උන්වහන්සේ ඉදිරියේ පොළොව වෙවුලයි. ලෝකය හා එහි වෙසෙන සැවොම ද වෙවුලති. උන්වහන්සේගේ කෝපය හමුවේ නො සැලී සිටගත හැක්කේ කවරකුට ද? උන්වහන්සේගේ උදහසේ සැර, දරාගත හැක්කේ කවරකුට ද? උන්වහන්සේගේ උදහස ගින්දර මෙන් වැගිරේ. උන්වහන්සේ අබියස පර්වත දෙදරා හැලේ. ස්වාමින්වහන්සේ යහපත් ය. විපත්ති දවසේ බළකොටුවක් ය. තමන්වහන්සේ තුළ පිළිසරණ සොයන්නන් උන්වහන්සේ දන්නා සේක. එහෙත් යට කර ගලා යන ගං වතුරකින් උන්වහන්සේ තම සතුරන් තීන්දුවට අවසන් කර දමන්නාහ. උන්වහන්සේ තම එදිරිවාදීන් අන්ධකාරයට ලුහුබැඳ, එලවා දමන සේක.

මෙයට අදාළ වීඩියෝ