මාර්ක් 9:30-37

මාර්ක් 9:30-37 SCV

ඔවුහු එතැනින් පිටත් ව ගලීලය මැදින් ගමන් ගත්හ. ඒ වග කිසිවකුත් දැන ගන්නවාට උන්වහන්සේ කැමති නො වූ සේක. මන්ද උන්වහන්සේ තම ගෝලයින්ට උගන්වමින්, “මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ලබනු ඇත. ඔවුහු උන්වහන්සේ මරා දමති. මරණින් තුන් දිනකට පසු, උන්වහන්සේ නැගිටිනු ඇතැ” යි පවසමින් සිටි බැවිනි. එහෙත් උන්වහන්සේ කී දේ ඔවුන්ට වැටහුනේ නැත. ඒ කියමන ගැන උන්වහන්සේගෙන් අසන්නට ද ඔවුහු බය වූහ. ඔවුහු කපර්ණවුමට පැමිණියහ. නිවසේ සිටියදී උන්වහන්සේ ඔවුන් අමතමින්, “මඟදී ඔබ වාද කළේ කුමක් ගැන දැ?” යි ඇසූ සේක. එහෙත් ඔවුහු නිහඬ ව සිටියහ. එසේ කළේ තමන් අතර වඩාත් උත්තමයා කවුරුදැයි මඟදී ඔවුන් එකිනෙකා වාද කළ බැවිනි. යේසුස්වහන්සේ වාඩි වී, දොළොස් දෙනා කැඳවා, ඔවුන් අමතමින්, “යමකුට ප්‍රථමයා වන්නට ඕනෑ නම්, ඔහු සියල්ලන්ගේ අන්තිමයා ද සැමගේ සේවකයා ද විය යුතු යැ” යි පැවසූ සේක. උන්වහන්සේ කුඩා දරුවකු ඔවුන් අතරේ සිටුවා, ඔහු වඩාගෙන, ඔවුන් අමතා, “මගේ නාමයෙන් මේ දරුවන්ගෙන් කෙනකු පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා පිළිගනියි. මා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු පිළිගන්නේ මා නො ව මා එවූ තැනැන්වහන්සේ යැ” යි පැවසූ සේක.